Tuesday, September 18, 2012

ජෙම්මාට...

 "භාවාතීශ ලට පට "
ජෙම්මා
ඔයා කිව්වේ එහෙම නේද...?
වේළිච්ච කොළයක්
කෙස් රොදක්
ආතර්ගෙ චිත්‍රයක්
ඔව්,
ලට පට ගොඩක්.
මොකට ගොඩ ගහන් ඉන්නවද...?
විසි කරන්න ඔක්කොම
අන්න අර උඳුනට, ගිනි ගොඩට,
අමුතුවෙන් සිහිවටන මොකටද
අමතක නොවෙන මතකෙකට...
 දැන් එන්න,
 මෙන්න මේ සීනි විස්කෝතුව
දෙකට බෙදාගෙන කන්න.
 ඔව්,
 සිහිවටන මොකටද
 අමතක නොවෙන මතකෙකට...!

සින්දු කියන මාළු...




මං ගං ඉවුරෙ ඇවිදින්න ගියා. ආයෙම. පාලම උඩ වාඩි වෙලා බලන් ඉන්න. හුළං වදින්න. අජීවී කෙනෙක් සජීවී කරන බලය හීල් හුළඟෙ තියෙනව.ඉතින් ගං ඉවුරෙ ඇවිදින්න වෛද්‍ය උපදෙස් ලැබුණ.

මං ගඟට බැස්සෙ නෑ. පාලමේ වාඩි වෙලා ගඟ දිහා බලන් හිටිය.ඇත්තටම බලන් හිටිය විතරයි. අඩුමගාණෙ අහගෙනවත් නෙවෙයි හිටියෙ.මට මුකුත්ම අහන්න ඕනෙ වුණේ නෑ.විශේෂයෙන්ම ගං ඉවුරෙදි. පාලම උඩදි.

කාටවත් මාව පෙනුණෙ නෑ. ඒ කිව්වෙ එයාල එක්කො මාව නොපෙනුණ බව ඇඟෙව්ව. සමහර විට බංකුවක්, පිළිමයක්, කණුවක් කියල හිතන්නැති.ඉතින් මට මොකද? මං කොහොමත් අජීවී වෙලා හිටියෙ.හැන්දෑවෙ මීදුම වගේ දියවෙලා යන්නයි ඕනෙ වෙලා තිබ්බෙ.

දවසක්, තවත් කෙනෙක් ආවා.එයාට මාව පෙනිල තිබුණා.මං හරියටම දන්නෙ නෑ.ඒත් මට එහෙම හිතුණා.මං බැලුව කවුද කියල. මූණ හරවන්නෙ නැතුව.ඇස් වලින් විතරක්. සජීවී ප්‍රාණයක්. කැපී පේන ලක්ෂණ තිබුණ.කථා කරන ඇස් තිබුණ.මට මුකුත්ම අහන්න ඕනෙකමක් නෑ කියල එයා දකින්නැති.ඉතින් එයා ඇස් වලින් කතා කරන්න ගත්ත.ඇස් වල භාෂාව මං දැනන් හිටියෙ.ඒත් මට ඇස් වලින් කතා කරන්න ඕනෙ වුණේ නෑ. විශේෂයෙන්ම නොදන්න අය එක්ක. ඒත් එයාට කතා කරන්න අයිතිය තිබුණ.මටත් මුකුත්ම නොඅහ ඉන්න අයිතිය තිබුණ.

"  ඇයි හැමදාම මෙතන ඉන්නෙ...?
ඇයි ගඟට බහින්නෙ නැත්තෙ...?
දිය රැළි උඩ ඇවිදින්නෙ නැත්තෙ...?
පීනන්නෙ නැත්තෙ...?
එනවද මාත් එක්ක ඇවිදින්න යන්න...?
මං උගන්නන්නම් පීනන්න..."

සජීවී ප්‍රාණයට අහන්න ප්‍රශ්න මහ ගොඩක් තිබුණ.උත්තර දැනගැනීමේ නොඉවසිල්ල ඇස් වල තිබුණ.ඒත් නොදන්න ප්‍රාණයකට උත්තර දෙන්න මට ඕනෙකමක් තිබ්බෙ නෑ.අඳුනාගන්න සුදුසු ලක්ෂණ තිබ්බට මට අඳුනගන්න හිතුණෙත් නෑ.

සජීවී ප්‍රාණය ඇහුවෙ ඉතිහාසයක් තිබුණ ප්‍රශ්න.
මං දැනන් හිටිය ප්‍රශ්න.
වතාවක් උත්තර දුන්න ප්‍රශ්න.
මාව අජීවී කළ ප්‍රශ්න.

ඒ මම ගඟයි පාලමයි අඳුනගත්ත අලුත.කාලෙකට කලින්. මං හිටියෙ උදෑසනක් වගෙ. සතුටෙන්. ප්‍රබෝධයෙන්. මං හැමදේම බලන් හිටිය.

දිය රැළි ඇදෙන හැටි...
මල් පිපෙන හැටි...
 මාළු පීනන හැටි...
හුළං හමන හැටි...

ලෝකය පෙනුණෙ හරියට මල් යායක් වගේ.

මේ කල්ලඩි පාලම නොවුණට මෙතනත් හිටියෙ සින්දු කියන මාළුවො.උන් හැමදාම මං වටකරගෙන සින්දු කිව්ව.පීනන්න එන්න කියල ආරාධනා පිට ආරාධනා එව්ව.මං බලන් හිටියෙ මාළු පීනන හැටි,වරල් ගහන හැටි.

අන්තිමේ මං දියට බැස්ස. පීනන්න. ඒත් දියෙන් ගොඩ ආවෙ සහලෝල උණ අරන්.එතකොට මාළු හිටියෙ නෑ. උන් අලුත් අලුත් සින්දු කිය කිය දියට බහින්න බය වෙන වෙන අය හොයන් ගිහින්.ඒ උන්ගෙ හැටි.සත්‍යය පහළ වෙද්දි මගෙ කොන්ඩෙ පැහැදිලිව සුළි දෙකක් පේන්න තිබ්බ. මට වතුරෙන් අපලයි කියල හැමෝම කියන්න ගත්ත.

උණ හොඳ වුණේ මාව අජීවී කරන්.ඉතින් මං ගං ඉවුරෙ ඇවිදින්න ගියා ආයෙම. හුළං වදින්න. අජීවී කෙනෙක් සජීවී කරන බලය හීල් හුළඟෙ තියෙනව.ගං ඉවුරෙ ඇවිදින්න වෛද්‍ය උපදෙස් ලැබුණ.

දැන් මාළු ආයෙම සින්දු කියනව.උන් මං වටේ ගං දියේ වරල් ගහනව. මට පේන්නෙත් නෑ. ඇහෙන්නෙත් නෑ. ඒත් තාම දැනෙනව.

සජීවී ප්‍රාණය මාළුවෙක් වගේ පේන්නෙ නෑ. ඒත් මට මාළු පිළී ගඳක් එනව. කොහොමත් මං ආයෙ ගඟට බහින්නෙ නෑ. මට වතුරෙන් අපලයි.

Monday, September 17, 2012

නමක් නැති කතාවක්...!

මං ආදරේ කරන පිරිමියා මට ආදරේ නැති බව මං හැමදාමත් දැනගෙනමයි හිටියෙ. පොඩ්ඩක් හරි ආදරේ ඇති කියල සැකයක්වත් තිබුණෙ නෑ. මං හරියටම දැනගෙන හිටියෙ එයා මට ආදරේ නෑ කියල.

එහෙම හිතන්න හේතු තිබුණා. 

හැමදාම වගේ මං රෙදි හෝදලා වේලෙන්න අවුවට දැම්මම ලස්සනට පායලා තියෙන ඉර කළු වළාකුළින් වැහිල මහා වැස්සක්  වැටෙන්න ලෑස්ති වෙනව. එහෙම වෙන්නෙ මං ආදරේ කරන පිරිමියා මට ආදරේ කරන්නෙ නැති හින්දයි.ඒක සම්පූර්ණ ඇත්ත. මොකද ඒක එහෙමයි කියල පොතක ලියල තිබුණා අච්චු අකුරින්. 

නෑ.බොරු නෙමෙයි. ඕනෙම නම් මං පොත පෙන්නන්නම්.මං ඊයෙත් ඒක බැලුව. හොරෙන් බැලුවෙ. මොකද පොතේ අකුරු දැන් වෙනස් වෙල ඇති කියල හොර බලාපොරොත්තුවක් තිබුණා. ඒ වුණත්, පොතේ අනිත් පිටු කාවො කාලා තිබුණට ඒ අකුරු ටික තවම එහෙමම තිබුණා.

ඒත්, එහෙම වුණත්, ගොඩක් දවස් වලට කොච්චර කළු කළත් ටිකකින් ආයෙම ඉර ලස්සනට පායපු හින්ද මං හිතුව එයා නොපෙන්නුවට හිත යටින් මට ආදරේ ඇති කියල.

එහෙම හිතන්නත් හේතු තිබුණා.

කැම්පස් එකේදි අපි හැමෝම අතේ ඇඳ ගත්ත මෙහෙන්දි මෝස්තරේ වැඩිම කාලයක් නොමැකි තිබුණෙ මගෙ අතේ. මෙහෙන්දිය ගොඩක් කල් නොමැකි තියෙනව කියන්නෙ මං ආදරේ කරන පිරිමියා මට ගොඩක් ආදරේ කරනවයි කියන එකලු. ඒකත් සම්පූර්ණ ඇත්ත.මට හැමෝම එහෙම කිව්වනෙ. ඇයි මං හින්දි චිත්‍රපටි වලත් ඕක දැකල තියෙනව.

මෙහෙන්දි මෝස්තරේ වැඩිකල් තියෙන්න ඊට උඩින් දෙහි ගාන්න ඕනෙ කියල මට කවුදෝ කිව්ව තමයි. මාත් ගෙදර ගිහින් අතේ දෙහි ගෑවත් තමයි.දෙහි නිසා මෙහෙන්දිය වැඩි කල් තිබුණ කියල උඩු හිත කොච්චර කිව්වත් අර කතාවෙත් ඇත්තක් ඇති කියලමයි යටි හිත කිව්වෙ.

කොහොම වුණත්, එයා මට නොපෙන්නුවට හිත යටින් ආදරේ ඇති කියල මං හිත හිතා හිටිය.හැබැයි ඒ මටත් හොරෙන්. මගේ හැම සිතුවිල්ලක්ම දිනපොතේ කටුගාන මං, මටත් හොරෙන් තියාගත්ත මේ සිතුවිල්ල දිනපොතෙනුත් හැංගුව.මොකද මං මටත් හොරෙන් තියගත්ත සිතුවිල්ලට ලිඛිත සාක්ෂි තියන්න මට ඕනෙ වුණේ නෑ.මං කවදාවත් එහෙම හිතුවෙ නෑ කියල මං මටම අභියෝග කරන දවසක් එනව කියල මං දැනගෙන හිටියෙ.

දෙපැත්තට වැනි වැනි කාලයක් ගෙවුණා.
කළු කපුටා සුදු වෙනතුරු,
මෝල්ගහේ දළු'ලන තුරු,
මං බලන් හිටිය. මටත් හොඳටම හති වැටිල තිබුණෙ. ඉතින් දවසක මං කෙළින්ම ඇහුව.

"  ඔයා මට ආදරේද?"

එයා මොහොතකට නිශ්ශබ්ද වුණා. නෑ.හෘදය වස්තුව නතර වුණේ නෑ. වෙනදා වගේම පණ ගැහුණා.හයියෙන්වත් හිමින්වත් නෙවෙයි. වෙනද වගෙම, සාමාන්‍ය වේගෙට. අන්තිමේ එයා කිව්වා....

"  ඔව්......"

අසම්පූර්ණ උත්තරේ ඉතිරිය එයාට කලින් මට සම්පූර්ණ කරගන්න පුළුවන් තරමට ළඟින්, එයාගෙ හිත කියවන්න පුලුවන් තරමට ළඟින් මං එයාව දැනන් හිටියෙ.

  "...... හොඳම යාළුවා විදිහට."

ඇත්ත තමයි. මටත් අවුරුදු ගාණකට පස්සෙ එකපාරටම නුවණ පහළ වුණා. අවුරුදු ගාණක් දැනන් හිටියට, සැරින් සැරේ මුණගැහුණට කොහොමද ආදරයක් ඇති වෙන්නෙ...?

මං එහෙම ආදරයක් තිබුණාද කියල පැහැදිලි කරගන්න සාක්ෂි එකතු කරන්න ගත්ත. උඩු හිත සම්පූර්ණයෙන්ම ආදරය ප්‍රතික්ෂේප කළා. 

"  උපන් දිනේට කාඩ් 1ක් දුන්නට, ගෙදරින් ගේන බත් පත දෙකට බෙදාගෙන කෑවට මොකද වෙන්නෙ...? හැම යාළුවම එහෙම නේද?" උඩුහිත ගොරෝසුවට ගෙරෙව්වා. 

හිතට සැනසීමක් දැනෙද්දි මං යටිහිතට එබිල බැලුව.මං තිගැස්සුණා. මතක මහ ගොඩක් පොදි බැඳගෙන යටිහිත යුක්තිය ඉල්ලන්න මග බලන් හිටියා.
"  නෑ.වෙන මුකුත්ම නෑ.!" මං රවාගෙන මටම කිව්වා.
"ඕනෙනම් දිනපොත බලන්න. මං ඒකෙ නොලියන දෙයක් නෑ. යාළුකම මිස වෙන මුකුත් ඒකෙ නෑ." මං යටිහිතට තර්ජනාංගුලිය එසෙව්ව.

"  ඇත්තටම ඔයා එයාට ආදරේද?" දැන් උඩු හිත මගෙන් අහනව.
"  ඔව්.හොඳම යාළුවා විදිහට" මං මටම හිනාවෙනව.




Sunday, January 1, 2012

බලාපොරොත්තු...



                       සිසිරය.,
                       සිසිලන නින්ද මට දෙන්න.
                       හද ගැහෙන සරය 
                       මා වටා අතුරන්න.;
                       සිසිලස තුරුළු කර මට වැතිරෙන්න.
                       සිසිලස වැළඳ මට මියැදෙන්න.
                       සිසිරය.,
                       සිසිලන නින්ද මට දෙන්න.

                       වසන්තය.,
                       හිරු කිරණ ඇද එන්න.
                       නුඹ,
                       සෙමෙන් මා ඇහැරන්න.
                       උණුසුමෙන් මා පුබුදන්න.
                       වසන්තය.,
                       සෙමෙන් නුඹ එන්න.

Tuesday, May 3, 2011

එන්න.මම මග බලන්...


                        තුරු මුදුන් මත
                        හිරුත් වැතිරෙන
                        වසන්තයෙ ඇති
                        සැඳෑ වරු වල,

                        නුඹ පැමිණ මා
                        හිතේ මුදුනට
                        වැතිර ඉන්නට
                        මගේ හිත මත.

                        ගනිමි හනිකට
                        කටු අකුල් ටික
                        කලින් දවසක
                        නුඹම රැස් කළ.

                        අතුරලා කටු
                        හිතේ තුනියට
                        මග බලා ඉමි
                        නුඹම එන තුරු,

                       එහි නිදන තුරු,
                       රිදවෙනා තුරු,
                       එයින් මතු
                       මටම රිදෙන තුරු...

Sunday, April 17, 2011

නුඹ, මගේ පළමු තැන....

ජීවත් වුණත්
මිය ගියත්
ඔව්,
නුඹ වාසනාවන්ත මැස්සෙක්,
ෆීලීස් / ආතර්,
හඳුනගත් දා පටන්
නුඹ,
මගේ පළමු තැන.

අපූ,
නුඹත්
මේ පෙළෙහි මුලටම.
දුර්ගා...
ලීලා...
අපර්ණා...
සෙනෙහෙ සිත්
සැමෙකක්ම
නුඹෙන් සමුගත් කලෙක
පුංචි කාජල් තබා කොහෙවත්
ලෝ වටා ඇවිදිනවාද නුඹ තාමත්...?

හොහොල්,
නුඹ,
නිතර සිනාවක් ළඟ,
රිදෙන මව් සිත් සනසමින්.
රළු පරළු විප්ලවය ළඟ
සිනහවක් කොහොම මුව ඇදුනාද...?
ප්‍රියය,
නුඹ පෙන්නූ තරමටම
බර නැතුවාද විප්ලවය...?

අරවින්ද,
නුඹත්
මෙහි මුල් තැනෙක.
නුඹට,
නුඹෙ නමට,
සියල්ලටමත් වැඩියෙන්
නුඹේ ඔය විරාගෙට
හිත ගිහින් මගෙ
දැන් හුඟක් කල්.

කැමති අය තව මහ ගොඩක්.

ඒත්
මං අකමැතිම
දෙවෙන්දොරා සං,
නුඹට.
නුඹ පලා ගියා වුව
නොරිකො තව මෙහෙ තනිව.
මළවුන්ගෙ අවුරුද්ද
එනතුරා කල් මරන
නොරිකො තව මෙහෙ තනිව.

මං අකමැතිම ඒකට.

Monday, April 11, 2011

කල් දැමූ අවුරුද්ද...

               දිදුල රතැති එරබදු මල් බරව ඇතී
               කොවුල් කොහෝ කූජන නද අවට වෙතී
               මලින් පලින් බර කාලය පැමිණ ඇතී
               බලව සබඳ අවුරුදු ළඟ ළඟම එතී...

               එන්න කුමර අවුරුදු අප ගම් පැත්තේ
               යන්න සොඳුරු ගම් වැසියන්ගේ වත්තේ
               එන්න නම් එපා අපගේ ගේ දොර පැත්තේ
               දෙන්න අසිරි විත් හෙමිහිට පිට පැත්තේ...

               දුන්නේ ඇඳුරින්ද වැඩ තොග හිස අස්සේ
               "එන්නේ අවුරුද්ද" හිතුවොත් නම් මං පස්සේ
               ඇන්දේ අලුත් දින දසුනක් මට නිස්සේ
               එන්නේ අවුරුද්ද දැන් මාසයකට පස්සේ... 

Wednesday, April 6, 2011





                       අතත් නොවනාම සමුදෙන.,
                       පසුත් නොබලාම නික්මෙන.,
                       අයත් ඇත ඉඳහිටෙක හමුවෙන
                       හදිසියේ මෙන් යළිත් මතුවෙන...
                       හදිසියේ මෙන් යළිත් නැති වෙන...

Wednesday, March 30, 2011

(අ)සංස්කෘතිය


                           සංස්කෘතියක් ගැනම 
                           කියවනා දහක් මැද
                           රාමුවෙන් පිට වෙන්න 
                           පය පෙරට තැබූයෙමි...

                           සංස්කෘතියක් නැතැයි
                           කියවනා කෙනෙක් ළඟ
                           රාමුවේ හරි මැදින්
                           මමම මං සිර කළෙමි.

Friday, March 25, 2011




                                        අතරමැදකින් ඇරඹුණේ ‍යැයි
                                        සිතට සිතුවිලි නිතර කීවට,
                                        "අතරමැදකින් නවතිනුද ඇති"
                                        සිතක් හෙමිහිට හොරෙන් හැඬුවට,
                                        හිතම වටකර බැන්ද ගැටපද
                                        තෝරගන්නට බැරුව හිටියට,
                                        මතක අමතක කරනු රිසිවුණු
                                        කවිපදත් ඉඳහිටක ලිව්වට...,

                                        නියම, නිවැරදි තැනෙක ඇරඹුණ
                                        නතරවෙන දින, තැනක් නොපෙනෙන
                                       මතක අමතක නොවනු රිසිවෙන
                                       මෙමම් තේරූ පදය නුඹ වෙන...

Sunday, February 20, 2011

දුක්ගන්නා....




                               ඇසේ බොඳවුණු
                               කඳුළකුත් ඇත.
                               උගුරෙ හිරවුණු
                               ඉකියකුත් ඇත.
                               තවත් දුකකට
                               සවන් ඉඩ ඇත.
                               කළුවරට වී
                               හඬන්නට හැක.

                               එන්න,
                               ඉතිරිවුණු තව
                               දුකක් ඇත්නම්
                               දෙන්න...

Thursday, January 27, 2011

මතකයක්...



                           ගස් පෙළක්...
                           ගල් බංකුවක්...
                           ගලේ ලියැවුණු මතකයක්
                           මකා දැමුමට රිසි වුණත්,
                           ඒ,
                           ගලක ලියැවුණු මතකයක්...


                                     සුළඟට සැලෙන මලකට
                                     ළංව ගයනා බඹරුට
                                     කියයි මල හෙමිහිට
                                    "සැළුණෙ ගැයුමට නොවේ,

                                     සුළඟට..."

Sunday, January 16, 2011


                                       අරුණු අහසේ තවම හිනැහෙන
                                       පුංචි තරුවක් පෙනෙනවා
                                       තව ටිකයි හිරු නැගී එන්නට
                                       සැඟව යන්නට හදනවා
                                       ඉරේ රැස් මැද හැංගි හැංගී
                                       නුඹ ඉන්න බව දන්නවා
                                       පෝය හඳ ළඟ ඉරට රහසින්
                                       රැයේ වුන් හැටි මැවෙනවා

                                        රැ‍යට තුරුළුව ඉන්නවා...
                                        දහවලේ
                                       යළි මග බලනවා ...

Tuesday, December 14, 2010

නුඹ... මම.

          
                                         නුඹම පබඳින
                                         තේරවිල්ලක
                                         සිව්පදය මැද
                                         පටලැවී මම.

                                        ඉන් මිදෙන්නට
                                        ඉඟි නොදී මට
                                        තව තවත් පද
                                        බඳින හැටි නුඹ..

Tuesday, December 7, 2010



                          හදෙහි ඇවිලෙන ගිනි ගොඩක් ඇත
                          ලොවට මා දැන් මියැදුණේ වෙත
                          කකියවා යන රතු රුහිර කැට
                          පිටත උතුරන දිනක් ළඟ ඇත.

                          මගේ දුක් ගින්නෙහි වෙලීගෙන
                          තැවෙනු දැවෙනුද මියෙනු දකිනෙමි
                          යළි යළිත් පැසෙනා දුකක් ගෙන
                          නිසොල්මන් වෙමි,සැබැවි මියැදෙමි.

Thursday, November 25, 2010

ලජ්ජාලතා...


නොලද පහසක් ලබන විට ඈ
විළිබරව පත් හැකිළයන්නී
යළිඳු හෙමිහිට දිගැර එකිනෙක
සිහිල් සුළඟක් හා බැඳෙන්නී
"නොහැකිළෙම් මම් සුපුල්වෙම් දැන්"
තදින් සිත් ගෙන මග බලන්නී
නමුදු යළි යළි ලබන පහසක
විළිබරව ඈ හැකිළයන්නී...


සුපුල් වන්නී
මග බලන්නී
යළි යළිත් ඈ
හැකිළයන්නී...

Sunday, November 14, 2010

වියමන...


                                  සිතේ දුක කෙඳිති කර
                                  සෙමින් එළියට අදිමි...
                                  බිඳෙන පාටැති හීන
                                  කඳුළු ගෙන දිය කරමි...
                                  දුක් කෙඳිති ගෙන,සිහින
                                  දියෙහි ලා පඬු පොවමි...
                                  පැහැ වැටුණු දුක් කෙඳිති
                                  සෙමින් වියමන් කරමි...

                                 ගෙතෙන දුක් වියමනෙහි
                                 සොඳුරු බව මම විඳිමි...
                                 මට අහිමි,නුඹට හිමි
                                 සිනහවක් මුව අඳිමි...

Saturday, November 6, 2010


                                                 තණග පිණි බිඳු
                                                 වැනිවු පණ ළඟ
                                            කුමට මේ හැටි නාඩගං
                                                 ගොනා පසුපස
                                                  කරත්තය බඳු
                                            තවත් දිගුවෙන සසර මං
                                                  දිවිය වෙහෙසයි
                                                  දිවිය කටුකයි
                                             කුමට බැදෙමිද එහිම දැං
                                                  රැගෙන යන්නට
                                                  කිසිත් මට නැහැ
                                            කමක් නැහැ හෙට මළත් මං...

සඳක් කුමට...


                                         ඉඳහිට දිනෙක පායන
                                         පුන්සඳක් වෙතී
                                         සොමි රැස් මිටක් දී
                                         ඉහළින් දිලුම් දෙතී
                                        දෝතට වඩින තුරු
                                        පෙර මග බැලුව ඇතී
                                        සඳක් කුමට මා ළඟ
                                        තරු බොහෝ වෙතී...