Friday, July 9, 2010

සියක් පෙති හෙමි හෙමින් ඉස්සී වැළඳ ගති ආදරෙන් හිමි සඳ...



සියක් සියපත් පිබිද
සබඳ බිඟු හිමි සඳට පෙම් බැඳ
මෝදු වන විට සරා සඳ
වෙන්ව යනු දෙනු ඉතින් කෙලෙසද...?


සැදෑ පිනි කදුළු පෙති සිඹින සඳ
වියෝ දුක හදවත නැගෙන සඳ
සියක් පෙති හෙමි හෙමින් ඉස්සී
වැළඳ ගති ආදරෙන් හිමි සඳ...

Thursday, July 8, 2010

ජීවිතය



නැගුණු දින සිට
පොළවෙන්
උකහගෙන සාරය
වටපිටින්
පරිණත වූ විගස
පලයක් ලොවට දී
මියෙන
කෝවක්කා වැලක්...

Wednesday, July 7, 2010

සිහගිරි ලියක්මි...


සිහගිරි බිතට වී
ඇලී ගැලී නොසැලී
කොඳ කැකුළු අත දරන්
හිඳිමි නෙතු බිම බලන්
හිමි,ඔබ යළි එතැයි
සිත රැඳුණු විස්වසින්...


දනෝ ගිර සපැමිණෙන
සොඳුරු ගී පද බඳින
ඇසුණු නෑසුණු ලෙසින්
හිඳිමි දෙසවන වසන්
හිමි,ඔබ යළි එතැයි
සිත රැඳුණු විස්වසින්...

Monday, July 5, 2010

අද පිරුණු සඳැති රාත්‍රියයි...






සැඳෑවට ඉඩදී දිනිඳු බැස යද්දී,

සිත තුටු කරවමින් තරිඳු නැග එද්දී,
රාත්‍රිය හඩ නගා මා අමතයි.
ඉදින්,
පිටව යා යුතුය මා
නිදන්නට නැත ඉඩක්
සිස්වූ වීදියේ
මුණ ගැසෙමු අපි
රැයද තරුණය අප සේ...
පිරුණු සඳැති රාත්‍රියයි.
රැය මවෙත හඩ ගසයි.
එන්න,
රඟන්න මා හා
සිප ගනිමි ඔබ මා
අද පිරුණු සඳැති රාත්‍රියයි.



මේ,
දිගු රැයෙක පවත්නා චමත්කාරයයි.
හිරු කිරණෙහි රඟමින්
අපි
සඳ වෙත පියඹා යමු...
පිරුණු සඳැති රාත්‍රියයි.
රැය මවෙත හඬ ගසයි.
එන්න,
රඟන්න මා හා
සිප ගනිමි ඔබ මා
අද
පිරුණු සඳැති රාත්‍රියයි...

දුහුවිලි...



සෑම තැන්හිම
අතුගා දැමෙන
පිසදා හරින
නමුදු,
වැටුණොතින් ඇස
 

කකියවා

රිදුමි දෙන
දුහුවිලි..
.

Sunday, July 4, 2010

නිහඬ ගීයක් ගයන්නී...

 



නිහඬ වුණු මුවක් ඇත්තී

නිහඬ වුණු හඬක් ඇත්තී
නිහැඬියාවට පෙම් බඳිද්දී
නිහඬ වුණු ලෝකයක් ලද්දී...



හඬ අහිමි ලෝකෙක උපන්නී
නිල් නෙළුම් දෙනෙතක් ලබන්නී
නෙළුම් දෙනෙතින් ලොව දකින්නී
නිහඬ ගීයක් ඉන් ගයන්නී...!

අබලන් සඳක්...අබලන් හදක්...


අබලන් සඳක්
අවපසින් බැස යන...
අබලන් හදක්
බිඳි බිඳී විසිරෙන...
බැසයන සඳක්,
රිදවුණු හදක් ,
ලොව නිසල යාමයක...!
එකම එක විල් තෙරක...!