Sunday, November 16, 2014

(අ) මතක


සෑම සතියකටම වරක්  අගනුවරාසන්න ප්‍රමුඛතම ළමා ආරක්ෂණ ආයතනයකට යෑම මගේ රැකියාවේ කොටසක්. ඒ, රට පුරා පරිවාස හා ළමා නිවාස වල වෙසෙන දරුවන් ඔවුන්ගේ විවිධ අවශ්‍යතා සඳහා නොයෙක් ස්ථාන කරා යෑමේදී හමු වන තාවකාලික නවාතැන්පොළ ක්.

ඒ දරුවන් එහි ගෙවන කාලය ගත කිරීමේදී අවශ්‍ය වෙතැයි සිතන ආහාර පාන, ඇඳුම් පැළඳුම්, පොත් පත් ආදී සියල්ලෙන්ම සතියකට ප්‍රමාණවත් වෙතැයි සිතන ප්‍රමාණයක් රැගෙන මා සෑම සතියකම එහි යනවා. සති පතා කෙරෙන මේ ගමනේදී ඉඳහිට මට එහි සිටින දරුවෙකු, දෙදෙනෙකු සමඟ මද වේලාවක් ගත කිරීමටත් අවස්ථාව ලැබෙනවා. මේ දරුවන් සමඟ බෙදා හදා ගන්නා ඒ සුළු කාලය තුළ මට ඇතැම් දෙමාපියන් තුළ සිය ලෙයින් ජනිත වූ දරුවන් කෙරේ ඇති අසංවේදී බව, නොසැළකිලිමත් බව හඳුනා ගන්නට ලැබුණා. ඒ හේතූන් නිසාම සිය දෙමාපියන් කෙරෙහි ඒ දරුවන් තුළද ගොඩ නැගී ඇති ක්‍රෝධයද මට පැහැදිලිව හඳුනා ගත හැකි වුණා.

පිරිමි ළමුන්ගෙන් මට හමුවුණේ වයස අවුරුදු පහක් පමණ වූ දරුවෙකු පමණයි. සුදුසු ළමා නිවාසයකට පිටත් කර හරින තුරු ඔහු සිය අක්කාත් සමඟ එහි සිටියේ හරිම සතුටින්. එම ආයතනයේ නිලධාරීන් සහ අප සමඟ සුරතල් බස් කියමින්, වරෙක අක්කා සමඟ රණ්ඩු වෙමින් ඔහු එතැන සිටියේ කැමැත්තෙන්. සමහරවිට සිය දෙමාපියන්ගෙන් නොලද ආදරය, සෙනෙහස, රැකවරණය ඔහුට ඒ නිලධාරීන් අතරේදී හමුවන්නට ඇති. ඒ දෙදෙනා ළමා නිවාස කරා යැවීමට හේතුව ඔවුන්ගේ භාරකාරත්වය ගැනීමට මව හෝ පියා අකමැති වීම යි. තමන්ට වඩා දෙගුණයක් විශාල වූ ගවුමක් ඇඟලා සිටි වයස අවුරුදු හතක් පමණ වූ අක්කා පමණට වඩා පරිණත වූවා. ඇය සැමවිටම සිය මල්ලී පිළිබඳ විමසිල්ලෙන්, ඔහුගේ දඟ වැඩ ඉවසමින් සිටියෙ ඔහුගේ අම්මා වගේයි. ඇතැම් විට ඔහු කුඩා කල සිටම රැක බලා ගන්නට ඇත්තේ ඒ අක්කා විය හැකියි. ඇයට සුදුසු ඇඳුමක් තෝරා දුන්විට ඇය එය පසුවට ඇඳීමට අරන් තබා ගත්තේ අරපිරිමැස්ම පෙන්වමින්.
මේ අහිංසකයින් පවුලෙන් පිටමං කිරීමට ඒ දෙමාපියන් හිත හදා ගත්තේ කොහොමද? ඔවුන්ටත් හේතුවක් තිබෙන්නට ඇති.

ඒ එක් කථාවක් පමණයි. එතැනට එන හැම දරුවෙකුටම කථාවක් තියෙනවා. සංවේදී අයෙකුගේ සිත් පාරවන කථාවක්.

මේ තවත් දැරියක්. බාල වයස්කාරියක්. බැලු බැල්මටම මුරණ්ඩු පෙනුමක් ඇති ඈ සිය දෙමව්පියන්ට දැඩි ලෙස වෛර කළා. හේතුව  ඇය පරිවාස භාරයට පත් කිරීමට පෙර අධිකරණය ඇගේ දෙමාපියන්ගෙන් ඇය යළි භාරගන්නා ලෙස කළ ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කිරීම යි. පරිවාස නිවාසයකට යාමට වඩා සිය එකම හව්හරණ වන දෙමාපිය සෙවණට යාමේ නොතිත් ආශාවෙන් සිටි ඈ දැන් ඇගේ දෙමාපියන් දෑස් මානයේ සිටිනු හෝ දැකීමට අකමැති යි.
පරිවාසයට යැවීමට ඈ කළ වරද ඇයට වඩා වසර දහයකින් වැඩිමල් වූ අයෙකු හා ආදර සම්බන්ධයක් අරඹා ඔහු හා පලා යාම යි. ඇය නිසි වයස සම්පූර්ණ කරන තුරු පරිවාස භාරයේ කල් ගෙවද්දී ඇගේ ඒ ප්‍රේමවන්තයා ඔහුගේ වරදට දුන් දඩුවම් විඳ දැන් නීත්‍යානුකූල විවාහ ජීවිතයක් ගෙනයන බවද පැවසූයේ ඇයම යි. ඒ සියලු කථාවම කීමට ඈ යොදාගත් ඒකාකාරී ස්වරය එහි සිටි අප කම්පා කරවූවා. එක මොහොතකට හෝ ඇගේ දෑස් තෙමුණේ නෑ. හඬ පැකිළුණේ නෑ. හැඟීම් රහිත මැලවුණු මුහුණින් ඇය ඔහේ ඒ සියල්ලම කියවූයේ කට පාඩමින් කියන්නා වගේ. ඒ අජීවී දෑස් වලට සජීවී පෙනුමක් ආවේ ඇගේ දෙමාපියන් ගැන කියන විට පමණ යි. ඈ පළ කළ එකම හැඟීම ක්‍රෝධය පමණයි.
ඒ දෙමාපියන් සිය දරුවා තල්ලු කළේ කොතැනකටද? ඒ මුරණ්ඩු කෙල්ලගේ හෙට දවස කුමක් වේද?

මා ඇසූ අනුවේදනීයම කථාව කීවේ වයස අවුරුදු දහ අටට මාස කිහිපයක් පමණක් ඉතුරුව තිබූ තරුණියක්. කිරිගරුඩ වැනි ඡවි වර්ණයක්, කැරළි ගැසුණු දිගු හිසකේ සහිත ඈ සැබෑම රූමතියක්. ක්‍රෝධයක්, වෛරයක්, මුරණ්ඩු කමක් ඈ වෙතින් දිස් වුණේ නෑ. ඈ පළ කළ එකම දේ අසරණ කම යි. දුක යි. වේදනාව යි. ඒ සුන්දර මුහුණ පසුපස තිබුණු අසුන්දර කථාව ඇසූ විට ඇගේ අසරණ කම වෙනුවෙන් අපේ දෑස් තෙත් වීම ද වැළැක්විය හැකි වූයේ නෑ.

ඇය ලිංගික අතවරයකට, දූෂණයකට ගොදුරු වූ දැරියක්. ඇය ගොදුරට ගෙන තිබුණේ ඇගේම පියා යි. තමන්ගේම ලෙයින් ජනිත වූ දුවණිය කෙලෙසන්නට තරම් ඔහුගේ මානසිකත්වය පහත වැටී තිබුණා.  මේ සිදුවීමෙන් පසු මනසින් දුර්වල වූ ඇය මානසික රෝහලක නේවාසික ප්‍රතිකාරද ලබා ගෙන තිබුණා. මට ඇය මුණගැසෙද්දී ඇය ඒ මානසික ආතතියෙන් මිදී තිබුණත් කම්පනය සම්පූර්ණයෙන්ම ඈ අතහැර ගොස් තිබුණේ නෑ. මා යද්දීත් ඇය සිටියේ හඬමින්. "මැරෙනවා නම් හොඳයි." ඈ දුර්වල හිනාවක් මුවට නංවාගෙන කීවා. ඇය හැරුණු විට ඇගේ ලෝකයේ වෙනත් කිසිම දෙයක්  සුන්දර වී තිබුණේ නෑ.

මෙහි තිබුණු වඩාත්ම ඛේදනීයම සිද්ධිය වුණේ ඇය තව මාස කිහිපයකින්ම වයස අවුරුදු දහ අට සම්පූර්ණ කිරීම යි. ඉනික්බිතිව පරිවාස හෝ ළමා නිවාසයක රැඳී සිටීමට ඇයට නීත්‍යානුකූල අවසරයක් නෑ. ඇය දූෂණය කළ පියා තමන්ගේ වරදට නියමිත දඬුවම් විද අහවර කර යළි පැමිණ සිටින ඒ නිවෙසටම ඇය යළිත් යෑමට නියමිතව තිබුණා. ඈ මරණය ප්‍රාර්ථනා කළේ ඊට පෙරාතුව යි.

මා ඔවුන් හා එක්වී කථාබහට එළඹි මොහොතේ පටන් මගේ දෑතේ දැවටෙමින් මා මිහිබට සුරඟනක සේ සළකමින් ඇය හැසිරුණු අයුරු මට තවම මතක යි. ඔවුන් බලන්නට නැවත එන පොරොන්දුවෙන් මා පිටත් වෙද්දී මට බුදු සරණ, දෙවි පිහිට පැතූ ඒ අහිංසක හදවත් වෙනුවෙන් මට කළ හැකි වූයේ කුමක්ද?

ඔවුන්ගේ සිතට එක් මොහොතක සැනසිල්ලක්, එක් මොහොතක සිනහවක් ගෙන ඒමට සමත් වී යැයි සිතා මට සතුටු විය හැකි ද? එවැනි මොහොතක සතුටකින් ඔවුන්ට ඇති ඵලය කුමක්ද? ඉන්පසු ඒ අහිංසකයින්ට සිදු වූයේ කුමක්ද? මම දන්නේ නෑ. ඔවුන් පිළිබඳ  ඒ ආයතනයේ නිලධාරීන්ගෙන් හෝ විමසා බැලීමට මා උත්සාහයක් ගෙන නැහැ. 

මේ අකුරු කෙරෙන්නේ ඒ වරද සහගත හෘද සාක්ෂිය යි. ඒ පශ්චාත්තාපය යි. ඔවුන් දෙස බැලීමෙන්, ඔවුන්ගේ හඬ ඇසීමෙන් පමණක්ම මා තුළ ඇති වූ වරද සහගත බව ඔවුන්ගේ දෙමාපියන්ට නොදැනුණේ ඇයි? ඒ අසංවේදී බවට හේතු වූයේ කුමක්ද? ඒ බහුතර නිර්වින්දනය වූ මානසිකත්වයට හේතුව කුමක්ද?