Sunday, September 30, 2012

මාතලන්...



මාතලන්,
තවත් නුඹ නොවෙහෙසමි.
දහක් හද කකියන
එකම පැනයක් විමසමි.
ඒ තරම් දුරක හිඳ
මේ තරම් දුරක් විත්
අතරමග
නැවතුණේ කිම සොහොයුර...?

හද මස අඹරගෙන
අද
වැටෙන හැම කඳුළකම,
හෙළන හැම සුසුමකම,
නුඹට එදිරිව නෝක්කඩු ඇත.
පැන යන්න දගලන සුස්මක
වෙරදරා
නො එල්ලුණේ කිම සොහොයුර...?

සමුදෙන නමුදු අද
නිවන් නොපතමි සොහොයුර,
නුඹ යළිත් දකිනු රිසි
බොහෝ අය
මෙහි තවත් මග බලනු සැබැවින.

Tuesday, September 18, 2012

ජෙම්මාට...

 "භාවාතීශ ලට පට "
ජෙම්මා
ඔයා කිව්වේ එහෙම නේද...?
වේළිච්ච කොළයක්
කෙස් රොදක්
ආතර්ගෙ චිත්‍රයක්
ඔව්,
ලට පට ගොඩක්.
මොකට ගොඩ ගහන් ඉන්නවද...?
විසි කරන්න ඔක්කොම
අන්න අර උඳුනට, ගිනි ගොඩට,
අමුතුවෙන් සිහිවටන මොකටද
අමතක නොවෙන මතකෙකට...
 දැන් එන්න,
 මෙන්න මේ සීනි විස්කෝතුව
දෙකට බෙදාගෙන කන්න.
 ඔව්,
 සිහිවටන මොකටද
 අමතක නොවෙන මතකෙකට...!

සින්දු කියන මාළු...




මං ගං ඉවුරෙ ඇවිදින්න ගියා. ආයෙම. පාලම උඩ වාඩි වෙලා බලන් ඉන්න. හුළං වදින්න. අජීවී කෙනෙක් සජීවී කරන බලය හීල් හුළඟෙ තියෙනව.ඉතින් ගං ඉවුරෙ ඇවිදින්න වෛද්‍ය උපදෙස් ලැබුණ.

මං ගඟට බැස්සෙ නෑ. පාලමේ වාඩි වෙලා ගඟ දිහා බලන් හිටිය.ඇත්තටම බලන් හිටිය විතරයි. අඩුමගාණෙ අහගෙනවත් නෙවෙයි හිටියෙ.මට මුකුත්ම අහන්න ඕනෙ වුණේ නෑ.විශේෂයෙන්ම ගං ඉවුරෙදි. පාලම උඩදි.

කාටවත් මාව පෙනුණෙ නෑ. ඒ කිව්වෙ එයාල එක්කො මාව නොපෙනුණ බව ඇඟෙව්ව. සමහර විට බංකුවක්, පිළිමයක්, කණුවක් කියල හිතන්නැති.ඉතින් මට මොකද? මං කොහොමත් අජීවී වෙලා හිටියෙ.හැන්දෑවෙ මීදුම වගේ දියවෙලා යන්නයි ඕනෙ වෙලා තිබ්බෙ.

දවසක්, තවත් කෙනෙක් ආවා.එයාට මාව පෙනිල තිබුණා.මං හරියටම දන්නෙ නෑ.ඒත් මට එහෙම හිතුණා.මං බැලුව කවුද කියල. මූණ හරවන්නෙ නැතුව.ඇස් වලින් විතරක්. සජීවී ප්‍රාණයක්. කැපී පේන ලක්ෂණ තිබුණ.කථා කරන ඇස් තිබුණ.මට මුකුත්ම අහන්න ඕනෙකමක් නෑ කියල එයා දකින්නැති.ඉතින් එයා ඇස් වලින් කතා කරන්න ගත්ත.ඇස් වල භාෂාව මං දැනන් හිටියෙ.ඒත් මට ඇස් වලින් කතා කරන්න ඕනෙ වුණේ නෑ. විශේෂයෙන්ම නොදන්න අය එක්ක. ඒත් එයාට කතා කරන්න අයිතිය තිබුණ.මටත් මුකුත්ම නොඅහ ඉන්න අයිතිය තිබුණ.

"  ඇයි හැමදාම මෙතන ඉන්නෙ...?
ඇයි ගඟට බහින්නෙ නැත්තෙ...?
දිය රැළි උඩ ඇවිදින්නෙ නැත්තෙ...?
පීනන්නෙ නැත්තෙ...?
එනවද මාත් එක්ක ඇවිදින්න යන්න...?
මං උගන්නන්නම් පීනන්න..."

සජීවී ප්‍රාණයට අහන්න ප්‍රශ්න මහ ගොඩක් තිබුණ.උත්තර දැනගැනීමේ නොඉවසිල්ල ඇස් වල තිබුණ.ඒත් නොදන්න ප්‍රාණයකට උත්තර දෙන්න මට ඕනෙකමක් තිබ්බෙ නෑ.අඳුනාගන්න සුදුසු ලක්ෂණ තිබ්බට මට අඳුනගන්න හිතුණෙත් නෑ.

සජීවී ප්‍රාණය ඇහුවෙ ඉතිහාසයක් තිබුණ ප්‍රශ්න.
මං දැනන් හිටිය ප්‍රශ්න.
වතාවක් උත්තර දුන්න ප්‍රශ්න.
මාව අජීවී කළ ප්‍රශ්න.

ඒ මම ගඟයි පාලමයි අඳුනගත්ත අලුත.කාලෙකට කලින්. මං හිටියෙ උදෑසනක් වගෙ. සතුටෙන්. ප්‍රබෝධයෙන්. මං හැමදේම බලන් හිටිය.

දිය රැළි ඇදෙන හැටි...
මල් පිපෙන හැටි...
 මාළු පීනන හැටි...
හුළං හමන හැටි...

ලෝකය පෙනුණෙ හරියට මල් යායක් වගේ.

මේ කල්ලඩි පාලම නොවුණට මෙතනත් හිටියෙ සින්දු කියන මාළුවො.උන් හැමදාම මං වටකරගෙන සින්දු කිව්ව.පීනන්න එන්න කියල ආරාධනා පිට ආරාධනා එව්ව.මං බලන් හිටියෙ මාළු පීනන හැටි,වරල් ගහන හැටි.

අන්තිමේ මං දියට බැස්ස. පීනන්න. ඒත් දියෙන් ගොඩ ආවෙ සහලෝල උණ අරන්.එතකොට මාළු හිටියෙ නෑ. උන් අලුත් අලුත් සින්දු කිය කිය දියට බහින්න බය වෙන වෙන අය හොයන් ගිහින්.ඒ උන්ගෙ හැටි.සත්‍යය පහළ වෙද්දි මගෙ කොන්ඩෙ පැහැදිලිව සුළි දෙකක් පේන්න තිබ්බ. මට වතුරෙන් අපලයි කියල හැමෝම කියන්න ගත්ත.

උණ හොඳ වුණේ මාව අජීවී කරන්.ඉතින් මං ගං ඉවුරෙ ඇවිදින්න ගියා ආයෙම. හුළං වදින්න. අජීවී කෙනෙක් සජීවී කරන බලය හීල් හුළඟෙ තියෙනව.ගං ඉවුරෙ ඇවිදින්න වෛද්‍ය උපදෙස් ලැබුණ.

දැන් මාළු ආයෙම සින්දු කියනව.උන් මං වටේ ගං දියේ වරල් ගහනව. මට පේන්නෙත් නෑ. ඇහෙන්නෙත් නෑ. ඒත් තාම දැනෙනව.

සජීවී ප්‍රාණය මාළුවෙක් වගේ පේන්නෙ නෑ. ඒත් මට මාළු පිළී ගඳක් එනව. කොහොමත් මං ආයෙ ගඟට බහින්නෙ නෑ. මට වතුරෙන් අපලයි.

Monday, September 17, 2012

නමක් නැති කතාවක්...!

මං ආදරේ කරන පිරිමියා මට ආදරේ නැති බව මං හැමදාමත් දැනගෙනමයි හිටියෙ. පොඩ්ඩක් හරි ආදරේ ඇති කියල සැකයක්වත් තිබුණෙ නෑ. මං හරියටම දැනගෙන හිටියෙ එයා මට ආදරේ නෑ කියල.

එහෙම හිතන්න හේතු තිබුණා. 

හැමදාම වගේ මං රෙදි හෝදලා වේලෙන්න අවුවට දැම්මම ලස්සනට පායලා තියෙන ඉර කළු වළාකුළින් වැහිල මහා වැස්සක්  වැටෙන්න ලෑස්ති වෙනව. එහෙම වෙන්නෙ මං ආදරේ කරන පිරිමියා මට ආදරේ කරන්නෙ නැති හින්දයි.ඒක සම්පූර්ණ ඇත්ත. මොකද ඒක එහෙමයි කියල පොතක ලියල තිබුණා අච්චු අකුරින්. 

නෑ.බොරු නෙමෙයි. ඕනෙම නම් මං පොත පෙන්නන්නම්.මං ඊයෙත් ඒක බැලුව. හොරෙන් බැලුවෙ. මොකද පොතේ අකුරු දැන් වෙනස් වෙල ඇති කියල හොර බලාපොරොත්තුවක් තිබුණා. ඒ වුණත්, පොතේ අනිත් පිටු කාවො කාලා තිබුණට ඒ අකුරු ටික තවම එහෙමම තිබුණා.

ඒත්, එහෙම වුණත්, ගොඩක් දවස් වලට කොච්චර කළු කළත් ටිකකින් ආයෙම ඉර ලස්සනට පායපු හින්ද මං හිතුව එයා නොපෙන්නුවට හිත යටින් මට ආදරේ ඇති කියල.

එහෙම හිතන්නත් හේතු තිබුණා.

කැම්පස් එකේදි අපි හැමෝම අතේ ඇඳ ගත්ත මෙහෙන්දි මෝස්තරේ වැඩිම කාලයක් නොමැකි තිබුණෙ මගෙ අතේ. මෙහෙන්දිය ගොඩක් කල් නොමැකි තියෙනව කියන්නෙ මං ආදරේ කරන පිරිමියා මට ගොඩක් ආදරේ කරනවයි කියන එකලු. ඒකත් සම්පූර්ණ ඇත්ත.මට හැමෝම එහෙම කිව්වනෙ. ඇයි මං හින්දි චිත්‍රපටි වලත් ඕක දැකල තියෙනව.

මෙහෙන්දි මෝස්තරේ වැඩිකල් තියෙන්න ඊට උඩින් දෙහි ගාන්න ඕනෙ කියල මට කවුදෝ කිව්ව තමයි. මාත් ගෙදර ගිහින් අතේ දෙහි ගෑවත් තමයි.දෙහි නිසා මෙහෙන්දිය වැඩි කල් තිබුණ කියල උඩු හිත කොච්චර කිව්වත් අර කතාවෙත් ඇත්තක් ඇති කියලමයි යටි හිත කිව්වෙ.

කොහොම වුණත්, එයා මට නොපෙන්නුවට හිත යටින් ආදරේ ඇති කියල මං හිත හිතා හිටිය.හැබැයි ඒ මටත් හොරෙන්. මගේ හැම සිතුවිල්ලක්ම දිනපොතේ කටුගාන මං, මටත් හොරෙන් තියාගත්ත මේ සිතුවිල්ල දිනපොතෙනුත් හැංගුව.මොකද මං මටත් හොරෙන් තියගත්ත සිතුවිල්ලට ලිඛිත සාක්ෂි තියන්න මට ඕනෙ වුණේ නෑ.මං කවදාවත් එහෙම හිතුවෙ නෑ කියල මං මටම අභියෝග කරන දවසක් එනව කියල මං දැනගෙන හිටියෙ.

දෙපැත්තට වැනි වැනි කාලයක් ගෙවුණා.
කළු කපුටා සුදු වෙනතුරු,
මෝල්ගහේ දළු'ලන තුරු,
මං බලන් හිටිය. මටත් හොඳටම හති වැටිල තිබුණෙ. ඉතින් දවසක මං කෙළින්ම ඇහුව.

"  ඔයා මට ආදරේද?"

එයා මොහොතකට නිශ්ශබ්ද වුණා. නෑ.හෘදය වස්තුව නතර වුණේ නෑ. වෙනදා වගේම පණ ගැහුණා.හයියෙන්වත් හිමින්වත් නෙවෙයි. වෙනද වගෙම, සාමාන්‍ය වේගෙට. අන්තිමේ එයා කිව්වා....

"  ඔව්......"

අසම්පූර්ණ උත්තරේ ඉතිරිය එයාට කලින් මට සම්පූර්ණ කරගන්න පුළුවන් තරමට ළඟින්, එයාගෙ හිත කියවන්න පුලුවන් තරමට ළඟින් මං එයාව දැනන් හිටියෙ.

  "...... හොඳම යාළුවා විදිහට."

ඇත්ත තමයි. මටත් අවුරුදු ගාණකට පස්සෙ එකපාරටම නුවණ පහළ වුණා. අවුරුදු ගාණක් දැනන් හිටියට, සැරින් සැරේ මුණගැහුණට කොහොමද ආදරයක් ඇති වෙන්නෙ...?

මං එහෙම ආදරයක් තිබුණාද කියල පැහැදිලි කරගන්න සාක්ෂි එකතු කරන්න ගත්ත. උඩු හිත සම්පූර්ණයෙන්ම ආදරය ප්‍රතික්ෂේප කළා. 

"  උපන් දිනේට කාඩ් 1ක් දුන්නට, ගෙදරින් ගේන බත් පත දෙකට බෙදාගෙන කෑවට මොකද වෙන්නෙ...? හැම යාළුවම එහෙම නේද?" උඩුහිත ගොරෝසුවට ගෙරෙව්වා. 

හිතට සැනසීමක් දැනෙද්දි මං යටිහිතට එබිල බැලුව.මං තිගැස්සුණා. මතක මහ ගොඩක් පොදි බැඳගෙන යටිහිත යුක්තිය ඉල්ලන්න මග බලන් හිටියා.
"  නෑ.වෙන මුකුත්ම නෑ.!" මං රවාගෙන මටම කිව්වා.
"ඕනෙනම් දිනපොත බලන්න. මං ඒකෙ නොලියන දෙයක් නෑ. යාළුකම මිස වෙන මුකුත් ඒකෙ නෑ." මං යටිහිතට තර්ජනාංගුලිය එසෙව්ව.

"  ඇත්තටම ඔයා එයාට ආදරේද?" දැන් උඩු හිත මගෙන් අහනව.
"  ඔව්.හොඳම යාළුවා විදිහට" මං මටම හිනාවෙනව.




Sunday, January 1, 2012

බලාපොරොත්තු...



                       සිසිරය.,
                       සිසිලන නින්ද මට දෙන්න.
                       හද ගැහෙන සරය 
                       මා වටා අතුරන්න.;
                       සිසිලස තුරුළු කර මට වැතිරෙන්න.
                       සිසිලස වැළඳ මට මියැදෙන්න.
                       සිසිරය.,
                       සිසිලන නින්ද මට දෙන්න.

                       වසන්තය.,
                       හිරු කිරණ ඇද එන්න.
                       නුඹ,
                       සෙමෙන් මා ඇහැරන්න.
                       උණුසුමෙන් මා පුබුදන්න.
                       වසන්තය.,
                       සෙමෙන් නුඹ එන්න.