ඊයේ,
මැති ඇමති රජගොල්ල
ආදරෙන් තටු මැද්ද
විළඳ මී පැණි බොජුන්
යෙහෙන් රස කර වින්ද
රාජ හංසයා නුඹ...
අද,
ඉහළ ඉගිලේ බියෙන්
තටු කපා කූඩු කළ
කළල් වගුරෙහි ඔබා
පැහැය අවපැහැ ඇන්ද
කාල හංසයා නුඹ...
හෙට,
කළල් වගුරට වැටෙන
වැසි දියෙන් තටු දොවන
දහස් පිරිවර සමඟ
මහත් හරසර ලබන
ධවල හංසයා නුඹ...