Tuesday, December 14, 2010

නුඹ... මම.

          
                                         නුඹම පබඳින
                                         තේරවිල්ලක
                                         සිව්පදය මැද
                                         පටලැවී මම.

                                        ඉන් මිදෙන්නට
                                        ඉඟි නොදී මට
                                        තව තවත් පද
                                        බඳින හැටි නුඹ..

Tuesday, December 7, 2010



                          හදෙහි ඇවිලෙන ගිනි ගොඩක් ඇත
                          ලොවට මා දැන් මියැදුණේ වෙත
                          කකියවා යන රතු රුහිර කැට
                          පිටත උතුරන දිනක් ළඟ ඇත.

                          මගේ දුක් ගින්නෙහි වෙලීගෙන
                          තැවෙනු දැවෙනුද මියෙනු දකිනෙමි
                          යළි යළිත් පැසෙනා දුකක් ගෙන
                          නිසොල්මන් වෙමි,සැබැවි මියැදෙමි.

Thursday, November 25, 2010

ලජ්ජාලතා...


නොලද පහසක් ලබන විට ඈ
විළිබරව පත් හැකිළයන්නී
යළිඳු හෙමිහිට දිගැර එකිනෙක
සිහිල් සුළඟක් හා බැඳෙන්නී
"නොහැකිළෙම් මම් සුපුල්වෙම් දැන්"
තදින් සිත් ගෙන මග බලන්නී
නමුදු යළි යළි ලබන පහසක
විළිබරව ඈ හැකිළයන්නී...


සුපුල් වන්නී
මග බලන්නී
යළි යළිත් ඈ
හැකිළයන්නී...

Sunday, November 14, 2010

වියමන...


                                  සිතේ දුක කෙඳිති කර
                                  සෙමින් එළියට අදිමි...
                                  බිඳෙන පාටැති හීන
                                  කඳුළු ගෙන දිය කරමි...
                                  දුක් කෙඳිති ගෙන,සිහින
                                  දියෙහි ලා පඬු පොවමි...
                                  පැහැ වැටුණු දුක් කෙඳිති
                                  සෙමින් වියමන් කරමි...

                                 ගෙතෙන දුක් වියමනෙහි
                                 සොඳුරු බව මම විඳිමි...
                                 මට අහිමි,නුඹට හිමි
                                 සිනහවක් මුව අඳිමි...

Saturday, November 6, 2010


                                                 තණග පිණි බිඳු
                                                 වැනිවු පණ ළඟ
                                            කුමට මේ හැටි නාඩගං
                                                 ගොනා පසුපස
                                                  කරත්තය බඳු
                                            තවත් දිගුවෙන සසර මං
                                                  දිවිය වෙහෙසයි
                                                  දිවිය කටුකයි
                                             කුමට බැදෙමිද එහිම දැං
                                                  රැගෙන යන්නට
                                                  කිසිත් මට නැහැ
                                            කමක් නැහැ හෙට මළත් මං...

සඳක් කුමට...


                                         ඉඳහිට දිනෙක පායන
                                         පුන්සඳක් වෙතී
                                         සොමි රැස් මිටක් දී
                                         ඉහළින් දිලුම් දෙතී
                                        දෝතට වඩින තුරු
                                        පෙර මග බැලුව ඇතී
                                        සඳක් කුමට මා ළඟ
                                        තරු බොහෝ වෙතී...

Wednesday, October 27, 2010

                                             අදිසි සුළඟක්
                                             සමඟ ඉස්සී
                                             පාව ගියමුත්
                                             වරාවක් සේ...
                                             සුළඟ අද මා
                                             හැර ගියාවෙද
                                              වැතිර ඉමි
                                              පරඩැල් පතක් සේ...
                                              අදිසි වූව ඒ
                                              සොදුරු සිසිලට
                                              සිතින් බැඳුණත්
                                               මෙමං කෙලෙසේ...
                                               සුළං පහරට
                                               යළිත් නොඇදෙමි
                                               වැතිර ඉමි
                                               පරඩැල් පතක් සේ...

Wednesday, October 20, 2010

සමුගත් මිතුරු නමට...




සුමිතුර කලෙක නුඹ අප හා සිතින්     බැඳී
හිඳි ඒ දවස් තාමත් මට මතක           ඇතී
විහිදුණු හතර අත මං වල ඇවිද          අපී
වෙන්වී ගියත් මිතුදම විය සිතේ        නිතී...

නුඹ තනි මගෙක කතරක ගිය ගමන            රළු
වැටි වැටි නැගිට ගිය මාවත ගල්             බොරළු
සඳ නැති අමාවක දවසක කළුම                 කළු
වැටුණේ නුඹ,
තවත් නොනැගෙන්නටමයි                     යහළු...

ජීවන මගේ අපමණ දුක් එමට               ඇතී
ඒ දුක් අතර නුඹෙ නමටත් දුකක්           වුණී
සොහොයුර නුඹට දිවියේ සැප අහිමි        වුණී
නොසිතමි,නුඹත් දුක් ගඟකින් එතෙර     වුණී...

Monday, October 11, 2010



ඊයේ,
මැති ඇමති රජගොල්ල
ආදරෙන් තටු මැද්ද
විළඳ මී පැණි බොජුන්
යෙහෙන් රස කර වින්ද
රාජ හංසයා නුඹ...

අද,
ඉහළ ඉගිලේ බියෙන්
තටු කපා කූඩු කළ
කළල් වගුරෙහි ඔබා
පැහැය අවපැහැ ඇන්ද
කාල හංසයා නුඹ...

හෙට,
කළල් වගුරට වැටෙන
වැසි දියෙන් තටු දොවන
දහස් පිරිවර සමඟ
මහත් හරසර ලබන
ධවල හංසයා නුඹ...

Sunday, September 26, 2010

නික්මෙමි...



නුඹ සුළඟ 
දස දිගට 
හමා යන හැමදාම...
මම 

ළදල්ලක් පමණ
හමන හැම අත සැලෙන...
සැලි සැලී
ලෙළ දිදී
හිඳිනු බැරි හැමදාම...
තුරු අගින්
ගිලිහුණෙමි
නුඹ නොදන්නේ තවම...

Friday, September 17, 2010

(අ)මතක



අමතක කරනු රිසි වුණු
මතකයන් හැම මැලවුණු
එකතු කර ,ඇති විසිරුණු
දමමි ගින්නට 

ඉතින් මියැදෙනු...

ගිනිදැලින් වටවුණු
මතකය නැතිය මියැදෙනු
දිගුකරන් සරදමෙහි රතු දිව
බලන්
මතකය මටම හිනැහෙනු...

Thursday, September 2, 2010

නුඹ නමින්...



පන්හිඳක තුඩු අගින්
හිස්ව ගිය පිටු පුරා
නුඹ නමින් මං ලියන
එකදු ගීතයක් නැති...

සොඳුරු සිතුවිලි මතින්
පිරුණු හදවත පුරා
නුඹ නමින් මං ලියන
එකම ගීතයක් ඇති...

Sunday, August 29, 2010

නිවන නම්....


සර සරය සැලෙන 

බෝ කොළයෙක
ගත පිස හමන 

මුදු සුළඟෙක
සිසිල් සුව දෙවන

සඳ කිරණෙක
වුණිමි මම 

හිඳ මහා බෝ මළුවෙක... 


සිහින් සරයෙන් ගැයෙන
බැති ගීත හඬක් ළඟ
මම වුණිමි මොහොතකට
නෙතු පියන් වසාගෙන
හිතට ආ සිතුවිල්ල,සැනසිල්ල
එ වූ එක් ඇසිල්ලෙක
නිවන නම් මේවැනිය,
සිතුණි මට,මගෙ සිතට
...

Saturday, August 14, 2010

මම මලක් වෙමි හිරුට පෙම් බැඳි...



හිරු රැසින් මා 
තැවෙනමුදු නිති 
මම මලක් වෙමි 
හිරුට පෙම් බැඳි...
සඳුට පිදෙනා 
හිරුගෙ පෙම ලැදි 
අමාවක දා 
මගේ කරගමි...

Sunday, August 1, 2010

මලක් වෙමි මම තුරු පතක් වෙමි...


දිනක ආයු ඇති මලක් වූවෙමි
හමන සුළඟට සුවඳ පුද දෙමි
නැගෙන අරුණෙක ඉතින් මියැදෙමි
සුළඟ ළඟ මා සුවඳ නවතමි


සුළඟෙ සෙළවෙන තුරු පතක් වෙමි
හමන සුළඟට සරය පුද දෙමි
නැගෙන අරුණෙක ඉතින් ගිලිහෙමි
සුළඟ ළඟ මා සරය නවතමි

Monday, July 26, 2010

සමනළ සහ මල


පෙති විදා හළ කෝල මල් ළඳ 
වෙතට සපැමිණි මනමාල සමනළ 
ගැයූ පෙම් ගී මලට මන ලොළ
මියුරු මතකෙක වෙන්ව ගිය කල...,
මල තැවුල් නොගන්නී
මතක සිහිනෙක රැදෙන්නී
සුපිපි වුවනත යොමන්නී
ළඟ එතැයිදෝ සිතන්නී
තවම
ඈ මග බලන්නී...

Sunday, July 18, 2010

මලෙක මතක...




"පුල හෙල කුසුම ගෙල දිගු කොට බලන
මිතුරු විලස එන මද නල හා සැලෙන
නොදකින නැගෙන නල රළ බලයෙහි තරම
දිදුල මලෙහි පෙති ගිලිහෙද සැක සිතිණ..."


"මලෙක දිනෙක පෙති ගිලිහෙන බව දනිමී
නමුදු මද නලේ තුරුලේ හිඳ සැලෙමී
නැගෙන නලෙහි රළ බලයට නොබියවෙමී
ගිලිහෙන පතෙහි බැඳි මතකය හා රැදෙමී..."

Thursday, July 15, 2010

හිත මිතුරු සුළඟ....




හුදකලාවේ යනෙද්දී
තනි මකන මා ළඟ රැදෙන,
නිදිබරව නෙතු පිය වැසෙද්දී 

සිහින් සරයක් ඇද ගෙනෙන,
විඩාබර වත මැලව යද්දී
සිසිල බිදකින් වුවන පිසලන,
නුඹ වැනිම වූ 

තවත් මිතුරෙකු
ඇතිද මේ ලොව
වෙන කිසිම තැන...
විදාගමි මා
විදාගමි දෑත්
වැළද ගමි මා
නුඹව සුමිතුර.
..

Sunday, July 11, 2010

දුරින් හිඳ විඳිමි ...



සෙවිමි,
මම නුඹ  දකිමි...
සිතමි,
මම නුඹ පතමි...
නෙළමි,
මම නුඹ සිඹිමි...
නැත,
දුරින් හිඳ විඳිමි...

නන්නාඳුනන්නී...





නෙත් පහර විදින්නී
කෝල ලෙස බලන්නී
නෙක රැගුම් රගන්නී
සිනා වත මවන්නී...


හෙටක් ගැන නොදන්නී
අද දවස ගෙවන්නී
වත මැලව යන දිනේ
සිතෙන් මග හරින්නී...


දනන් දොස් දරන්නී
සිතේ කිළුටක් නොගන්නී
මුහුනු වත්සුණු උලන්නී
හෙටත් මග බලන්නී...



නන්නාඳුනන්නී...

Friday, July 9, 2010

සියක් පෙති හෙමි හෙමින් ඉස්සී වැළඳ ගති ආදරෙන් හිමි සඳ...



සියක් සියපත් පිබිද
සබඳ බිඟු හිමි සඳට පෙම් බැඳ
මෝදු වන විට සරා සඳ
වෙන්ව යනු දෙනු ඉතින් කෙලෙසද...?


සැදෑ පිනි කදුළු පෙති සිඹින සඳ
වියෝ දුක හදවත නැගෙන සඳ
සියක් පෙති හෙමි හෙමින් ඉස්සී
වැළඳ ගති ආදරෙන් හිමි සඳ...

Thursday, July 8, 2010

ජීවිතය



නැගුණු දින සිට
පොළවෙන්
උකහගෙන සාරය
වටපිටින්
පරිණත වූ විගස
පලයක් ලොවට දී
මියෙන
කෝවක්කා වැලක්...

Wednesday, July 7, 2010

සිහගිරි ලියක්මි...


සිහගිරි බිතට වී
ඇලී ගැලී නොසැලී
කොඳ කැකුළු අත දරන්
හිඳිමි නෙතු බිම බලන්
හිමි,ඔබ යළි එතැයි
සිත රැඳුණු විස්වසින්...


දනෝ ගිර සපැමිණෙන
සොඳුරු ගී පද බඳින
ඇසුණු නෑසුණු ලෙසින්
හිඳිමි දෙසවන වසන්
හිමි,ඔබ යළි එතැයි
සිත රැඳුණු විස්වසින්...

Monday, July 5, 2010

අද පිරුණු සඳැති රාත්‍රියයි...






සැඳෑවට ඉඩදී දිනිඳු බැස යද්දී,

සිත තුටු කරවමින් තරිඳු නැග එද්දී,
රාත්‍රිය හඩ නගා මා අමතයි.
ඉදින්,
පිටව යා යුතුය මා
නිදන්නට නැත ඉඩක්
සිස්වූ වීදියේ
මුණ ගැසෙමු අපි
රැයද තරුණය අප සේ...
පිරුණු සඳැති රාත්‍රියයි.
රැය මවෙත හඩ ගසයි.
එන්න,
රඟන්න මා හා
සිප ගනිමි ඔබ මා
අද පිරුණු සඳැති රාත්‍රියයි.



මේ,
දිගු රැයෙක පවත්නා චමත්කාරයයි.
හිරු කිරණෙහි රඟමින්
අපි
සඳ වෙත පියඹා යමු...
පිරුණු සඳැති රාත්‍රියයි.
රැය මවෙත හඬ ගසයි.
එන්න,
රඟන්න මා හා
සිප ගනිමි ඔබ මා
අද
පිරුණු සඳැති රාත්‍රියයි...

දුහුවිලි...



සෑම තැන්හිම
අතුගා දැමෙන
පිසදා හරින
නමුදු,
වැටුණොතින් ඇස
 

කකියවා

රිදුමි දෙන
දුහුවිලි..
.

Sunday, July 4, 2010

නිහඬ ගීයක් ගයන්නී...

 



නිහඬ වුණු මුවක් ඇත්තී

නිහඬ වුණු හඬක් ඇත්තී
නිහැඬියාවට පෙම් බඳිද්දී
නිහඬ වුණු ලෝකයක් ලද්දී...



හඬ අහිමි ලෝකෙක උපන්නී
නිල් නෙළුම් දෙනෙතක් ලබන්නී
නෙළුම් දෙනෙතින් ලොව දකින්නී
නිහඬ ගීයක් ඉන් ගයන්නී...!

අබලන් සඳක්...අබලන් හදක්...


අබලන් සඳක්
අවපසින් බැස යන...
අබලන් හදක්
බිඳි බිඳී විසිරෙන...
බැසයන සඳක්,
රිදවුණු හදක් ,
ලොව නිසල යාමයක...!
එකම එක විල් තෙරක...!