Thursday, September 17, 2015

කාලෙකට කලින් දවසක්...


5.30ට අවසන් වූ ප්‍රශ්න පත්‍රයේ ගුණදොස් විචාරය කර අවසානයේ 6.15ට පමණ කැම්පස් 1 ළඟින් 138 කඩවත කොටුව බසයකට නැගුණේ ගෙදර යාමට ය. හතර අතම කළු කරගෙන මහ වැසි වැටෙන්නේ දැන් පැය ගාණක සිට ය. අද නම් ගෙදර යන විට වෙනදාටත් වඩා පමා වන බව විශ්වාස ය. වැස්සට බස් යන්නේ හෙමින් බව දැන දැනත් ලියා ඉවර වුණු ප්‍රශ්න පත්‍රයක හරි වැරදි හොය හොයා සිටියාට "මට හොඳ වැඩේ" මම මටම හිතින් බැණ ගමි.

දැන් ඉතින් කරන්නට දෙයක් නැත. මම බසය පුරා ඇසෙන මිල්ටන් මල්ලවාරච්චිගේ ගීයකට සම වැදෙමි. ගීයක අතරමැද හදිසියේ රියදුරු තැන එයටද තිත තබයි. මම අමනාප බැල්මකින් ඉදිරිය බලමි. වීදි ගායකයෙකු බසයට නැගී රබානකට තට්ටු දමමින් සංගීත්ගේ "ගායෙන් මා මුදවලා" ගීය ගය යි. ඉන්පසු දමිත් අසංකගේ තවත් ගීයකි. මගේ හිතට අමනාපයක්, අප්‍රසාදයක් මෝදු වේ. එක් එක් ගීයට මොහුගේ හඬ වෙනස් වේ.ඔහු ගීයේ සැබෑ ගායකයාගේ හඬ අනුකරණයට උත්සාහ දරයි. මම මොහුගේ සැබෑ කටහඬ අනුමාන කිරීමට උත්සාහ ගමි. තල් අත්තට බොරළු ගසන්නා සේ මගේ කණ ළඟටම වී රබානකට තඩි බාමින් ඔහු ගැයූ ගී ඉවසා සිටියා මදිවාට දැන් මම ඔහුට මුදල් ආධාරයක්ද කළ යුතු ද? මා ආසාවෙන් අසා සිටි මිල්ටන්ගේ ගී නැවතුණේද මොහුගේ කන්දොස්කිරියාව නිසා ය.    ඔහු නුදුන් අයට ගතු කියා ආධාර කළවුන් වෙනුවෙන් තවත් ගීයක් ගය යි. කලින් ඒවා නම් අමාරුවෙන් හෝ අසා සිටියෙමි.මේ ගීය ගයන්නේ දුන් අය වෙනුවෙන්ම නම් නොදුන් මම ඒ අසන්නේ කුමකටද? කන් දෙකේ ගසා ගන්නට කිරල ඇබයක්වත් නැති හැටි...

කොටුව ස්ටේෂන් එක ළඟින් බහිද්දී වෙලාව 7ත් පසු වීය. ස්ටේෂන් එක ඉදිරිපිට බස් නැවතුමෙහි මේ වෙලාවට විනාඩියක්වත් රැඳෙන්නට මට හිතක් නැත. එතැන ඉන්නා ඇතැම් මිනිසුන්ගේ ඇස ගැටීම ම මට විස ය. ඈතින් බසයක් එනු පෙනේ. මම දුව ගොස් ඊට ගොඩ වෙමි. ඉතින් ආයෙමත් ඇත්තේ යන්නට ය. හිතට එන ඕනෑම දෙයක් ගැන සිතමින් ඔහේ යන්නට ය.

වැස්ස නිසා බසය වෙනදාට වඩා හිමින්. "මෙහෙම ගියොත් මට අන්තිම බස් 1ත් නැති වෙයි." හිත බියපත් වෙයි. මම සිතින් දෙතුන් වර නිවෙසට දිව යමි. එක්වරම මගේ මුහුණ ළඟින්ම ජාතික කොඩිය සහිත ස්ටිකරයක් පහත් වෙයි. මම තිගැස්සී ඉහළ බලමි. තරුණයෙකු මාදෙස බලාගෙන මොනවාදෝ කියවයි. මම ඔහුගේ කථාව අතරමැද නවත්වා කීයදැයි විමසමි. කීය වුවත් මට ජාතික කොඩිය සහිත ස්ටිකරයකින් මේ මොහොතේ ඇති පලක් නැත. "එපා"

මගේ ජංගම දුරකථනය දෙදරනු දැනේ. අම්මා විය යුතු ය.
"චූටි කොහෙද ඉන්නෙ..?"
"තාම කොළඹ කැම්පස් 1 ළඟ"
"අද විභාගෙ ලේසිද?"
"හොඳයි. ඔක්කොටම ලිව්වා"
"හ්ම්... ගෙවල් ළඟට ඇවිත් කියන්න."
"හා"

අම්මා කථා කර යි. මා සිත යළි බියපත් වෙයි. අන්තිම බස් 1ට කලින් හෝමගමට යන්න පුළුවන් වෙයිද? තුම්මුල්ල, පොලිස් පාර්ක්, කිරුළපන, නුගේගොඩ පහු වෙයි. මහරගම, කොට්ටාව, මාකුඹුර, ගලවිලවත්ත පහු වෙයි. යළි දුරකථනය නාද වෙයි. ආයෙමත් ගෙදරින්.
"දැන් කොහෙද?"
"තාම හෝමගමට ආවෙත් නෑ. තාම ගලවිලවත්තෙ"
"අන්තිම බස් 1 යයිද දන් නෑ.?"
"ඒක තමා..."
"හෝමගමදි කියන්න. බස් 1 නැත්නම් අපි එන්නම්."
"හා"

හෝමගමින් බසයෙන් බැසගත් විගස මම ඊළඟ බසයට හනික දුවමි. වැස්ස නිසා තෙතබරි වූ සෙරෙප්පුව ලිස්සයි. පාර මැද ලිස්සා වැටුණොත් තවත් එකකි. මා හනි හනික කකුල ලිස්සමින් පාර මාරු වෙමි. වහ වහා ඊළඟ බසයට දුවමින් මෙන් ඇවිද යමි.
අන්න බස් එක... අන්තිම එක.. හෝල්ට් එකෙන් ඉස්සරහටත් අරගෙන... බස් එක යන්නම වගේ...
මම තව තවත් පය ඉක්මන් කරමි. ගමේ බස් එකේ කොන්දොස්තර මා හඳුනයි. "එන්න එන්න නංගි.. ඉක්මණට නගින්න..." මම ඉක්මන් කර කුඩය අකුළා බසයට ගොඩ වෙමි. මා සමඟම දිව ආ තවත් පිරිසක් පාපුවරුවේ එල්ලෙති.
එක් අතක කුඩය ය. අනෙක් අතින් බස් එකේ උඩින් අල්ලාගෙනය. දුරකථනය නැවත දෙදරයි. අම්මා රිසීවරය කන තබා මා පිළිතුරු දෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටිනු මට මැවී පෙනේ. නමුත් දුරකථනය අතට ගන්නට හැකියාවක් නැත.
කොටුවේදී මට එපා වූ ගැහැණුකම මේ බස් රියේදී මගෙ පිහිටට එයි. තෙතබරිත කුඩය වහ වහා හිඳසිටින්නෙකු අතට පත් වෙයි. ලේඩීස් ෆස්ට් කියා ඉක්මණින්ම හිඳගැනීමට අසුනක්ද ලැබේ.
කැම්පස් එක ළඟින් බසයට නැග පැය ගාණකට පසු මම ගෙවල් ළඟ හෝල්ට් එකෙන් බසයෙන් බැස ගමි. ගතට තෙහෙට්ටු ය. හිතට එහි වගක් නැත. තව විනාඩි දෙකෙන් තුනෙන් මා ගෙදර ය. ඒත් කෝ අම්මා...? ගෙදරින් කවුරුවත් පාරට ඇවිත් නැතිද?
මේ උඩපනිමින් දිව එන්නේ අපේ හුරතල් බල්ලා බක් නේද? එහෙනම් අම්මා, තාත්තා හෝ අයියා ළඟම එනවා විය යුතු ය. ඇරත් මා දැන් කුමට බය වෙන්නද? අපේ සුරතලා, ගමම දන්නා ලොකු, නපුරු බල්ලා මා ළඟම දැවටි දැවටී ඉන්න කොට...

2010. 10. 02

ඒ සිහිනයත්, මේ සිහිනයත් හැර තවත් සිහින තිබේ ද? තිබේ.

 
දිගු කලක් පුරා මම එකම සිහිනයක් දුටුවෙමි. මා ජීවත් වූයේ ඒ සිහිනය තුළ ය. 
ඒ එකම සිහිනය තුළ
මාගේ සතුට පැවතුණි.
මාගේ දුකද පැවතුණි.
මාගේ උපේක්ෂාවද පැවතුණි.  
නෙල්ලි ගෙඩියක් තුළ සියලු රසභාවයන් පවත්නේ යම් සේද, ඒ එකම සිහිනය තුළ මගේ සියළුම හැඟුම් සමුදායන්ගේ පැවැත්ම වූයේ ය.
එය මාගේ දිගුකාලීන ඇබ්බැහිය වූයේ ය. එය මා මත් කළ මගේ මත්ද්‍රව්‍යය වූයේ ය. කල්ගතවෙද්දී එය මා ලෙය හා මුසු වූ රසභාවයක් වූයේ ය. 
මතට ලොල් වූවෝ ලොව අමතක කර මතම සොයා යන්නා සේ මමද ලොව පසෙක ලා සිහිනය සොයා ගියෙමි. 
එතුළ ජීවත් වීමි. 
ඒ වෙනුවෙන් ලොව හා සටන් වැදුමට පවා නොපැකිළුණෙමි.
කල්ගත වෙද්දී මට සිහිනය සමඟින්ම අවදි වීමට අවැසි විණි. 
ඒ සිහිනයක්මය' යන වග මටම අමතකව තිබිණි.
ඉදින්, මවිසින් මම ම තදින් කොනිත්තා මාව ම සිහිනයෙන් අවදි කරවා ගනු හැරුණු කොට වෙනත් විකල්පයක් මා සතුව නොතිබිණි.
එහෙයින්ම අවදි වීමි.
 ඒ මායාවී සිහිනයෙන් පියවියට
පිවිසුනා වූ මොහොත, මෙතෙක් දුටුවේ සිහිනයකැයි උඩු සිතත් යටිසිතත් අවිවාදිතවම පිළිගත් මොහොත, මා අසුරු සැණෙකින්
ඉහළ ඔසවා එසැණින්ම
පොළොවට දමා ගැසුවේ ය. 
මම වීදුරු බිතක් බඳුව කැබලි කැබලි වලට බිඳී ගියෙමි.

නි
ක්
බි
ති
එළඹි කල තුළ කලාකරුවෙකු 
කලා කෘතියක් 
නිමවන්නා වැනි වූ සංයමයකින්
ඇසි පිය හෙළන සැණෙක 
ඇතිවන
හද රිදුමක ශේෂයක් 
පමණක්
ඉතුරු වන පරිද්දෙන් 
මම, බිඳී ගිය මා යළි නිමවූයෙමි.
ඇසි පිය හෙළන සැණෙක ඇතිවන හද රිදුමක ශේෂය දන්නේ මම ම පමණි.

Sunday, November 16, 2014

(අ) මතක


සෑම සතියකටම වරක්  අගනුවරාසන්න ප්‍රමුඛතම ළමා ආරක්ෂණ ආයතනයකට යෑම මගේ රැකියාවේ කොටසක්. ඒ, රට පුරා පරිවාස හා ළමා නිවාස වල වෙසෙන දරුවන් ඔවුන්ගේ විවිධ අවශ්‍යතා සඳහා නොයෙක් ස්ථාන කරා යෑමේදී හමු වන තාවකාලික නවාතැන්පොළ ක්.

ඒ දරුවන් එහි ගෙවන කාලය ගත කිරීමේදී අවශ්‍ය වෙතැයි සිතන ආහාර පාන, ඇඳුම් පැළඳුම්, පොත් පත් ආදී සියල්ලෙන්ම සතියකට ප්‍රමාණවත් වෙතැයි සිතන ප්‍රමාණයක් රැගෙන මා සෑම සතියකම එහි යනවා. සති පතා කෙරෙන මේ ගමනේදී ඉඳහිට මට එහි සිටින දරුවෙකු, දෙදෙනෙකු සමඟ මද වේලාවක් ගත කිරීමටත් අවස්ථාව ලැබෙනවා. මේ දරුවන් සමඟ බෙදා හදා ගන්නා ඒ සුළු කාලය තුළ මට ඇතැම් දෙමාපියන් තුළ සිය ලෙයින් ජනිත වූ දරුවන් කෙරේ ඇති අසංවේදී බව, නොසැළකිලිමත් බව හඳුනා ගන්නට ලැබුණා. ඒ හේතූන් නිසාම සිය දෙමාපියන් කෙරෙහි ඒ දරුවන් තුළද ගොඩ නැගී ඇති ක්‍රෝධයද මට පැහැදිලිව හඳුනා ගත හැකි වුණා.

පිරිමි ළමුන්ගෙන් මට හමුවුණේ වයස අවුරුදු පහක් පමණ වූ දරුවෙකු පමණයි. සුදුසු ළමා නිවාසයකට පිටත් කර හරින තුරු ඔහු සිය අක්කාත් සමඟ එහි සිටියේ හරිම සතුටින්. එම ආයතනයේ නිලධාරීන් සහ අප සමඟ සුරතල් බස් කියමින්, වරෙක අක්කා සමඟ රණ්ඩු වෙමින් ඔහු එතැන සිටියේ කැමැත්තෙන්. සමහරවිට සිය දෙමාපියන්ගෙන් නොලද ආදරය, සෙනෙහස, රැකවරණය ඔහුට ඒ නිලධාරීන් අතරේදී හමුවන්නට ඇති. ඒ දෙදෙනා ළමා නිවාස කරා යැවීමට හේතුව ඔවුන්ගේ භාරකාරත්වය ගැනීමට මව හෝ පියා අකමැති වීම යි. තමන්ට වඩා දෙගුණයක් විශාල වූ ගවුමක් ඇඟලා සිටි වයස අවුරුදු හතක් පමණ වූ අක්කා පමණට වඩා පරිණත වූවා. ඇය සැමවිටම සිය මල්ලී පිළිබඳ විමසිල්ලෙන්, ඔහුගේ දඟ වැඩ ඉවසමින් සිටියෙ ඔහුගේ අම්මා වගේයි. ඇතැම් විට ඔහු කුඩා කල සිටම රැක බලා ගන්නට ඇත්තේ ඒ අක්කා විය හැකියි. ඇයට සුදුසු ඇඳුමක් තෝරා දුන්විට ඇය එය පසුවට ඇඳීමට අරන් තබා ගත්තේ අරපිරිමැස්ම පෙන්වමින්.
මේ අහිංසකයින් පවුලෙන් පිටමං කිරීමට ඒ දෙමාපියන් හිත හදා ගත්තේ කොහොමද? ඔවුන්ටත් හේතුවක් තිබෙන්නට ඇති.

ඒ එක් කථාවක් පමණයි. එතැනට එන හැම දරුවෙකුටම කථාවක් තියෙනවා. සංවේදී අයෙකුගේ සිත් පාරවන කථාවක්.

මේ තවත් දැරියක්. බාල වයස්කාරියක්. බැලු බැල්මටම මුරණ්ඩු පෙනුමක් ඇති ඈ සිය දෙමව්පියන්ට දැඩි ලෙස වෛර කළා. හේතුව  ඇය පරිවාස භාරයට පත් කිරීමට පෙර අධිකරණය ඇගේ දෙමාපියන්ගෙන් ඇය යළි භාරගන්නා ලෙස කළ ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කිරීම යි. පරිවාස නිවාසයකට යාමට වඩා සිය එකම හව්හරණ වන දෙමාපිය සෙවණට යාමේ නොතිත් ආශාවෙන් සිටි ඈ දැන් ඇගේ දෙමාපියන් දෑස් මානයේ සිටිනු හෝ දැකීමට අකමැති යි.
පරිවාසයට යැවීමට ඈ කළ වරද ඇයට වඩා වසර දහයකින් වැඩිමල් වූ අයෙකු හා ආදර සම්බන්ධයක් අරඹා ඔහු හා පලා යාම යි. ඇය නිසි වයස සම්පූර්ණ කරන තුරු පරිවාස භාරයේ කල් ගෙවද්දී ඇගේ ඒ ප්‍රේමවන්තයා ඔහුගේ වරදට දුන් දඩුවම් විඳ දැන් නීත්‍යානුකූල විවාහ ජීවිතයක් ගෙනයන බවද පැවසූයේ ඇයම යි. ඒ සියලු කථාවම කීමට ඈ යොදාගත් ඒකාකාරී ස්වරය එහි සිටි අප කම්පා කරවූවා. එක මොහොතකට හෝ ඇගේ දෑස් තෙමුණේ නෑ. හඬ පැකිළුණේ නෑ. හැඟීම් රහිත මැලවුණු මුහුණින් ඇය ඔහේ ඒ සියල්ලම කියවූයේ කට පාඩමින් කියන්නා වගේ. ඒ අජීවී දෑස් වලට සජීවී පෙනුමක් ආවේ ඇගේ දෙමාපියන් ගැන කියන විට පමණ යි. ඈ පළ කළ එකම හැඟීම ක්‍රෝධය පමණයි.
ඒ දෙමාපියන් සිය දරුවා තල්ලු කළේ කොතැනකටද? ඒ මුරණ්ඩු කෙල්ලගේ හෙට දවස කුමක් වේද?

මා ඇසූ අනුවේදනීයම කථාව කීවේ වයස අවුරුදු දහ අටට මාස කිහිපයක් පමණක් ඉතුරුව තිබූ තරුණියක්. කිරිගරුඩ වැනි ඡවි වර්ණයක්, කැරළි ගැසුණු දිගු හිසකේ සහිත ඈ සැබෑම රූමතියක්. ක්‍රෝධයක්, වෛරයක්, මුරණ්ඩු කමක් ඈ වෙතින් දිස් වුණේ නෑ. ඈ පළ කළ එකම දේ අසරණ කම යි. දුක යි. වේදනාව යි. ඒ සුන්දර මුහුණ පසුපස තිබුණු අසුන්දර කථාව ඇසූ විට ඇගේ අසරණ කම වෙනුවෙන් අපේ දෑස් තෙත් වීම ද වැළැක්විය හැකි වූයේ නෑ.

ඇය ලිංගික අතවරයකට, දූෂණයකට ගොදුරු වූ දැරියක්. ඇය ගොදුරට ගෙන තිබුණේ ඇගේම පියා යි. තමන්ගේම ලෙයින් ජනිත වූ දුවණිය කෙලෙසන්නට තරම් ඔහුගේ මානසිකත්වය පහත වැටී තිබුණා.  මේ සිදුවීමෙන් පසු මනසින් දුර්වල වූ ඇය මානසික රෝහලක නේවාසික ප්‍රතිකාරද ලබා ගෙන තිබුණා. මට ඇය මුණගැසෙද්දී ඇය ඒ මානසික ආතතියෙන් මිදී තිබුණත් කම්පනය සම්පූර්ණයෙන්ම ඈ අතහැර ගොස් තිබුණේ නෑ. මා යද්දීත් ඇය සිටියේ හඬමින්. "මැරෙනවා නම් හොඳයි." ඈ දුර්වල හිනාවක් මුවට නංවාගෙන කීවා. ඇය හැරුණු විට ඇගේ ලෝකයේ වෙනත් කිසිම දෙයක්  සුන්දර වී තිබුණේ නෑ.

මෙහි තිබුණු වඩාත්ම ඛේදනීයම සිද්ධිය වුණේ ඇය තව මාස කිහිපයකින්ම වයස අවුරුදු දහ අට සම්පූර්ණ කිරීම යි. ඉනික්බිතිව පරිවාස හෝ ළමා නිවාසයක රැඳී සිටීමට ඇයට නීත්‍යානුකූල අවසරයක් නෑ. ඇය දූෂණය කළ පියා තමන්ගේ වරදට නියමිත දඬුවම් විද අහවර කර යළි පැමිණ සිටින ඒ නිවෙසටම ඇය යළිත් යෑමට නියමිතව තිබුණා. ඈ මරණය ප්‍රාර්ථනා කළේ ඊට පෙරාතුව යි.

මා ඔවුන් හා එක්වී කථාබහට එළඹි මොහොතේ පටන් මගේ දෑතේ දැවටෙමින් මා මිහිබට සුරඟනක සේ සළකමින් ඇය හැසිරුණු අයුරු මට තවම මතක යි. ඔවුන් බලන්නට නැවත එන පොරොන්දුවෙන් මා පිටත් වෙද්දී මට බුදු සරණ, දෙවි පිහිට පැතූ ඒ අහිංසක හදවත් වෙනුවෙන් මට කළ හැකි වූයේ කුමක්ද?

ඔවුන්ගේ සිතට එක් මොහොතක සැනසිල්ලක්, එක් මොහොතක සිනහවක් ගෙන ඒමට සමත් වී යැයි සිතා මට සතුටු විය හැකි ද? එවැනි මොහොතක සතුටකින් ඔවුන්ට ඇති ඵලය කුමක්ද? ඉන්පසු ඒ අහිංසකයින්ට සිදු වූයේ කුමක්ද? මම දන්නේ නෑ. ඔවුන් පිළිබඳ  ඒ ආයතනයේ නිලධාරීන්ගෙන් හෝ විමසා බැලීමට මා උත්සාහයක් ගෙන නැහැ. 

මේ අකුරු කෙරෙන්නේ ඒ වරද සහගත හෘද සාක්ෂිය යි. ඒ පශ්චාත්තාපය යි. ඔවුන් දෙස බැලීමෙන්, ඔවුන්ගේ හඬ ඇසීමෙන් පමණක්ම මා තුළ ඇති වූ වරද සහගත බව ඔවුන්ගේ දෙමාපියන්ට නොදැනුණේ ඇයි? ඒ අසංවේදී බවට හේතු වූයේ කුමක්ද? ඒ බහුතර නිර්වින්දනය වූ මානසිකත්වයට හේතුව කුමක්ද?

Sunday, April 21, 2013


                                                ගිනිතබමි  මතකය
                                            ගිනි තැබිය යුතු හෙයින් 
                                       අළු මතින් නැඟිටින්න නොසිතන්. 
                                                          නුඹ,
                                           ෆීනික්ස් නම් නොවෙයි.

Monday, February 11, 2013

උපේක්ෂා




කැලණි කන්ද නැගගෙන
විභාගෙට හතිදාන් දුවන කොට
උපේක්ෂා නුඹ,
තෙල් බැම්ම ළඟ
සිනාසීගෙන ඉන්නවා...
සමුදෙන්නෙ කොහොමද ඉතින්
මාත්,
සිනාසීගෙන
 එකහුස්මෙ
විභාගෙට දුවනවා...
ආයෙමත් එන පාරෙ
තෙල් බැම්ම ළඟ තාම
නුඹ ඉන්න බව දන්නවා
ආපස්සෙ හැරී මම
තව සිනාවක් පානවා
නෙත් කෙවෙණි
සීරුවට තෙමෙනවා...

කැලණියෙන් ගොඩක් දුර
නුඹ
යන්නටම ගිය බව,
 උපේක්ෂා,
මං හොඳින් දන්නවා...

නොදන්නා දහකගෙන්
සමුගන්න ගියත්
මට
උපේක්ෂා,
නුඹ බලන්නට එන්න බැරි වුණා....
"අනේ ඒකට මොකද පියූ"
 නුඹ කියන බව දන්නවා
ඒත් තාමත්
මගේ හිත
මට බනිනවා....

කමක් නෑ ඉතින්
නුඹ හෙටත්
තෙල් බැම්ම ළඟ 
ඉන්න බව දන්නවා
කවදාක හරි සෙනග මැද
හදිසියේ මුණගැසෙනු ඇති
හිතෙනවා...

Sunday, September 30, 2012

මාතලන්...



මාතලන්,
තවත් නුඹ නොවෙහෙසමි.
දහක් හද කකියන
එකම පැනයක් විමසමි.
ඒ තරම් දුරක හිඳ
මේ තරම් දුරක් විත්
අතරමග
නැවතුණේ කිම සොහොයුර...?

හද මස අඹරගෙන
අද
වැටෙන හැම කඳුළකම,
හෙළන හැම සුසුමකම,
නුඹට එදිරිව නෝක්කඩු ඇත.
පැන යන්න දගලන සුස්මක
වෙරදරා
නො එල්ලුණේ කිම සොහොයුර...?

සමුදෙන නමුදු අද
නිවන් නොපතමි සොහොයුර,
නුඹ යළිත් දකිනු රිසි
බොහෝ අය
මෙහි තවත් මග බලනු සැබැවින.

Tuesday, September 18, 2012

ජෙම්මාට...

 "භාවාතීශ ලට පට "
ජෙම්මා
ඔයා කිව්වේ එහෙම නේද...?
වේළිච්ච කොළයක්
කෙස් රොදක්
ආතර්ගෙ චිත්‍රයක්
ඔව්,
ලට පට ගොඩක්.
මොකට ගොඩ ගහන් ඉන්නවද...?
විසි කරන්න ඔක්කොම
අන්න අර උඳුනට, ගිනි ගොඩට,
අමුතුවෙන් සිහිවටන මොකටද
අමතක නොවෙන මතකෙකට...
 දැන් එන්න,
 මෙන්න මේ සීනි විස්කෝතුව
දෙකට බෙදාගෙන කන්න.
 ඔව්,
 සිහිවටන මොකටද
 අමතක නොවෙන මතකෙකට...!

සින්දු කියන මාළු...




මං ගං ඉවුරෙ ඇවිදින්න ගියා. ආයෙම. පාලම උඩ වාඩි වෙලා බලන් ඉන්න. හුළං වදින්න. අජීවී කෙනෙක් සජීවී කරන බලය හීල් හුළඟෙ තියෙනව.ඉතින් ගං ඉවුරෙ ඇවිදින්න වෛද්‍ය උපදෙස් ලැබුණ.

මං ගඟට බැස්සෙ නෑ. පාලමේ වාඩි වෙලා ගඟ දිහා බලන් හිටිය.ඇත්තටම බලන් හිටිය විතරයි. අඩුමගාණෙ අහගෙනවත් නෙවෙයි හිටියෙ.මට මුකුත්ම අහන්න ඕනෙ වුණේ නෑ.විශේෂයෙන්ම ගං ඉවුරෙදි. පාලම උඩදි.

කාටවත් මාව පෙනුණෙ නෑ. ඒ කිව්වෙ එයාල එක්කො මාව නොපෙනුණ බව ඇඟෙව්ව. සමහර විට බංකුවක්, පිළිමයක්, කණුවක් කියල හිතන්නැති.ඉතින් මට මොකද? මං කොහොමත් අජීවී වෙලා හිටියෙ.හැන්දෑවෙ මීදුම වගේ දියවෙලා යන්නයි ඕනෙ වෙලා තිබ්බෙ.

දවසක්, තවත් කෙනෙක් ආවා.එයාට මාව පෙනිල තිබුණා.මං හරියටම දන්නෙ නෑ.ඒත් මට එහෙම හිතුණා.මං බැලුව කවුද කියල. මූණ හරවන්නෙ නැතුව.ඇස් වලින් විතරක්. සජීවී ප්‍රාණයක්. කැපී පේන ලක්ෂණ තිබුණ.කථා කරන ඇස් තිබුණ.මට මුකුත්ම අහන්න ඕනෙකමක් නෑ කියල එයා දකින්නැති.ඉතින් එයා ඇස් වලින් කතා කරන්න ගත්ත.ඇස් වල භාෂාව මං දැනන් හිටියෙ.ඒත් මට ඇස් වලින් කතා කරන්න ඕනෙ වුණේ නෑ. විශේෂයෙන්ම නොදන්න අය එක්ක. ඒත් එයාට කතා කරන්න අයිතිය තිබුණ.මටත් මුකුත්ම නොඅහ ඉන්න අයිතිය තිබුණ.

"  ඇයි හැමදාම මෙතන ඉන්නෙ...?
ඇයි ගඟට බහින්නෙ නැත්තෙ...?
දිය රැළි උඩ ඇවිදින්නෙ නැත්තෙ...?
පීනන්නෙ නැත්තෙ...?
එනවද මාත් එක්ක ඇවිදින්න යන්න...?
මං උගන්නන්නම් පීනන්න..."

සජීවී ප්‍රාණයට අහන්න ප්‍රශ්න මහ ගොඩක් තිබුණ.උත්තර දැනගැනීමේ නොඉවසිල්ල ඇස් වල තිබුණ.ඒත් නොදන්න ප්‍රාණයකට උත්තර දෙන්න මට ඕනෙකමක් තිබ්බෙ නෑ.අඳුනාගන්න සුදුසු ලක්ෂණ තිබ්බට මට අඳුනගන්න හිතුණෙත් නෑ.

සජීවී ප්‍රාණය ඇහුවෙ ඉතිහාසයක් තිබුණ ප්‍රශ්න.
මං දැනන් හිටිය ප්‍රශ්න.
වතාවක් උත්තර දුන්න ප්‍රශ්න.
මාව අජීවී කළ ප්‍රශ්න.

ඒ මම ගඟයි පාලමයි අඳුනගත්ත අලුත.කාලෙකට කලින්. මං හිටියෙ උදෑසනක් වගෙ. සතුටෙන්. ප්‍රබෝධයෙන්. මං හැමදේම බලන් හිටිය.

දිය රැළි ඇදෙන හැටි...
මල් පිපෙන හැටි...
 මාළු පීනන හැටි...
හුළං හමන හැටි...

ලෝකය පෙනුණෙ හරියට මල් යායක් වගේ.

මේ කල්ලඩි පාලම නොවුණට මෙතනත් හිටියෙ සින්දු කියන මාළුවො.උන් හැමදාම මං වටකරගෙන සින්දු කිව්ව.පීනන්න එන්න කියල ආරාධනා පිට ආරාධනා එව්ව.මං බලන් හිටියෙ මාළු පීනන හැටි,වරල් ගහන හැටි.

අන්තිමේ මං දියට බැස්ස. පීනන්න. ඒත් දියෙන් ගොඩ ආවෙ සහලෝල උණ අරන්.එතකොට මාළු හිටියෙ නෑ. උන් අලුත් අලුත් සින්දු කිය කිය දියට බහින්න බය වෙන වෙන අය හොයන් ගිහින්.ඒ උන්ගෙ හැටි.සත්‍යය පහළ වෙද්දි මගෙ කොන්ඩෙ පැහැදිලිව සුළි දෙකක් පේන්න තිබ්බ. මට වතුරෙන් අපලයි කියල හැමෝම කියන්න ගත්ත.

උණ හොඳ වුණේ මාව අජීවී කරන්.ඉතින් මං ගං ඉවුරෙ ඇවිදින්න ගියා ආයෙම. හුළං වදින්න. අජීවී කෙනෙක් සජීවී කරන බලය හීල් හුළඟෙ තියෙනව.ගං ඉවුරෙ ඇවිදින්න වෛද්‍ය උපදෙස් ලැබුණ.

දැන් මාළු ආයෙම සින්දු කියනව.උන් මං වටේ ගං දියේ වරල් ගහනව. මට පේන්නෙත් නෑ. ඇහෙන්නෙත් නෑ. ඒත් තාම දැනෙනව.

සජීවී ප්‍රාණය මාළුවෙක් වගේ පේන්නෙ නෑ. ඒත් මට මාළු පිළී ගඳක් එනව. කොහොමත් මං ආයෙ ගඟට බහින්නෙ නෑ. මට වතුරෙන් අපලයි.

Monday, September 17, 2012

නමක් නැති කතාවක්...!

මං ආදරේ කරන පිරිමියා මට ආදරේ නැති බව මං හැමදාමත් දැනගෙනමයි හිටියෙ. පොඩ්ඩක් හරි ආදරේ ඇති කියල සැකයක්වත් තිබුණෙ නෑ. මං හරියටම දැනගෙන හිටියෙ එයා මට ආදරේ නෑ කියල.

එහෙම හිතන්න හේතු තිබුණා. 

හැමදාම වගේ මං රෙදි හෝදලා වේලෙන්න අවුවට දැම්මම ලස්සනට පායලා තියෙන ඉර කළු වළාකුළින් වැහිල මහා වැස්සක්  වැටෙන්න ලෑස්ති වෙනව. එහෙම වෙන්නෙ මං ආදරේ කරන පිරිමියා මට ආදරේ කරන්නෙ නැති හින්දයි.ඒක සම්පූර්ණ ඇත්ත. මොකද ඒක එහෙමයි කියල පොතක ලියල තිබුණා අච්චු අකුරින්. 

නෑ.බොරු නෙමෙයි. ඕනෙම නම් මං පොත පෙන්නන්නම්.මං ඊයෙත් ඒක බැලුව. හොරෙන් බැලුවෙ. මොකද පොතේ අකුරු දැන් වෙනස් වෙල ඇති කියල හොර බලාපොරොත්තුවක් තිබුණා. ඒ වුණත්, පොතේ අනිත් පිටු කාවො කාලා තිබුණට ඒ අකුරු ටික තවම එහෙමම තිබුණා.

ඒත්, එහෙම වුණත්, ගොඩක් දවස් වලට කොච්චර කළු කළත් ටිකකින් ආයෙම ඉර ලස්සනට පායපු හින්ද මං හිතුව එයා නොපෙන්නුවට හිත යටින් මට ආදරේ ඇති කියල.

එහෙම හිතන්නත් හේතු තිබුණා.

කැම්පස් එකේදි අපි හැමෝම අතේ ඇඳ ගත්ත මෙහෙන්දි මෝස්තරේ වැඩිම කාලයක් නොමැකි තිබුණෙ මගෙ අතේ. මෙහෙන්දිය ගොඩක් කල් නොමැකි තියෙනව කියන්නෙ මං ආදරේ කරන පිරිමියා මට ගොඩක් ආදරේ කරනවයි කියන එකලු. ඒකත් සම්පූර්ණ ඇත්ත.මට හැමෝම එහෙම කිව්වනෙ. ඇයි මං හින්දි චිත්‍රපටි වලත් ඕක දැකල තියෙනව.

මෙහෙන්දි මෝස්තරේ වැඩිකල් තියෙන්න ඊට උඩින් දෙහි ගාන්න ඕනෙ කියල මට කවුදෝ කිව්ව තමයි. මාත් ගෙදර ගිහින් අතේ දෙහි ගෑවත් තමයි.දෙහි නිසා මෙහෙන්දිය වැඩි කල් තිබුණ කියල උඩු හිත කොච්චර කිව්වත් අර කතාවෙත් ඇත්තක් ඇති කියලමයි යටි හිත කිව්වෙ.

කොහොම වුණත්, එයා මට නොපෙන්නුවට හිත යටින් ආදරේ ඇති කියල මං හිත හිතා හිටිය.හැබැයි ඒ මටත් හොරෙන්. මගේ හැම සිතුවිල්ලක්ම දිනපොතේ කටුගාන මං, මටත් හොරෙන් තියාගත්ත මේ සිතුවිල්ල දිනපොතෙනුත් හැංගුව.මොකද මං මටත් හොරෙන් තියගත්ත සිතුවිල්ලට ලිඛිත සාක්ෂි තියන්න මට ඕනෙ වුණේ නෑ.මං කවදාවත් එහෙම හිතුවෙ නෑ කියල මං මටම අභියෝග කරන දවසක් එනව කියල මං දැනගෙන හිටියෙ.

දෙපැත්තට වැනි වැනි කාලයක් ගෙවුණා.
කළු කපුටා සුදු වෙනතුරු,
මෝල්ගහේ දළු'ලන තුරු,
මං බලන් හිටිය. මටත් හොඳටම හති වැටිල තිබුණෙ. ඉතින් දවසක මං කෙළින්ම ඇහුව.

"  ඔයා මට ආදරේද?"

එයා මොහොතකට නිශ්ශබ්ද වුණා. නෑ.හෘදය වස්තුව නතර වුණේ නෑ. වෙනදා වගේම පණ ගැහුණා.හයියෙන්වත් හිමින්වත් නෙවෙයි. වෙනද වගෙම, සාමාන්‍ය වේගෙට. අන්තිමේ එයා කිව්වා....

"  ඔව්......"

අසම්පූර්ණ උත්තරේ ඉතිරිය එයාට කලින් මට සම්පූර්ණ කරගන්න පුළුවන් තරමට ළඟින්, එයාගෙ හිත කියවන්න පුලුවන් තරමට ළඟින් මං එයාව දැනන් හිටියෙ.

  "...... හොඳම යාළුවා විදිහට."

ඇත්ත තමයි. මටත් අවුරුදු ගාණකට පස්සෙ එකපාරටම නුවණ පහළ වුණා. අවුරුදු ගාණක් දැනන් හිටියට, සැරින් සැරේ මුණගැහුණට කොහොමද ආදරයක් ඇති වෙන්නෙ...?

මං එහෙම ආදරයක් තිබුණාද කියල පැහැදිලි කරගන්න සාක්ෂි එකතු කරන්න ගත්ත. උඩු හිත සම්පූර්ණයෙන්ම ආදරය ප්‍රතික්ෂේප කළා. 

"  උපන් දිනේට කාඩ් 1ක් දුන්නට, ගෙදරින් ගේන බත් පත දෙකට බෙදාගෙන කෑවට මොකද වෙන්නෙ...? හැම යාළුවම එහෙම නේද?" උඩුහිත ගොරෝසුවට ගෙරෙව්වා. 

හිතට සැනසීමක් දැනෙද්දි මං යටිහිතට එබිල බැලුව.මං තිගැස්සුණා. මතක මහ ගොඩක් පොදි බැඳගෙන යටිහිත යුක්තිය ඉල්ලන්න මග බලන් හිටියා.
"  නෑ.වෙන මුකුත්ම නෑ.!" මං රවාගෙන මටම කිව්වා.
"ඕනෙනම් දිනපොත බලන්න. මං ඒකෙ නොලියන දෙයක් නෑ. යාළුකම මිස වෙන මුකුත් ඒකෙ නෑ." මං යටිහිතට තර්ජනාංගුලිය එසෙව්ව.

"  ඇත්තටම ඔයා එයාට ආදරේද?" දැන් උඩු හිත මගෙන් අහනව.
"  ඔව්.හොඳම යාළුවා විදිහට" මං මටම හිනාවෙනව.